News

වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීමේ තීන්දුව ළඟදීම

වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසම සමග සාකච්ඡා කර සේවා ව්‍යවස්ථාවද සලකා බලා ඉතා ඉක්මනින් තීන්දුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේ ය.

වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීමට අදාළව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සලකා බලා පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වසර දහයක්, පහළොවක් තිස්සේ වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන විශාල පිරිසක් සිටින බවද කී හෙතෙම ඔවුන්ට අසාධාරණයක් නොවන ලෙස මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බවද කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

අජිත් අලහකෝන්