News

PCR නොකළ මල සිරුරක් භූමදානයට අවසර දීලා

පි.සි.ආර්. පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක් කිසිදු පරීක්ෂණයකින් තොරව පානදුර තොටවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරිම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශවාසීන් අතර ඊයේ (15) දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ පානදුර උතුර තොටවත්ත කලිෆා මාවතේ පදිංචිව සිටි 72 පුද්ගලයෙකි.

ඉකුත් 13 වෙනිදා මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර 14 වන දින උදේ එම ප්‍රදේශය හදිසි මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත මියගිය පුද්ගලයාගේ ඥාතීන් පානදුර උතුර පොලිසියට පැමිණීමෙන් අනතුරුව එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි එම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ ද , පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මළ සිරුර පි සි ආර් පරීක්ෂණ සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාර වෙත යොමුකර තිබේ.

වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරියකු 14 වන දින රාජකාරි යෙදී සිටියදී මෙම මළ සිරුර පි සි ආර් පරීක්ෂණයකින් තොරව රැගෙන යාමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිනෙන් දින කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන පානදුර තොටවත්ත ප්‍රදේශයේ මෙම පුද්ගලයා නිවස තුළදී මියයාමෙන් අනතුරුව එම මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයට භාජනය නොකර මිහිදන් කිරීමට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ දැඩි ආන්දෝලනයක් හට ගෙන තිබේ.