ග්‍රාම නිලධාරීන්ගෙන් රජයට ඉල්ලීමක්
කොරෝනා ව්‍යසනය හමුවේ දැඩි කැපවීමෙන් රාජකාරි කරන දාහතරදහකට අධික සියලුම ග්‍රාම නිලධාරීන් වහාම පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය රජයට අවධාරණය කරති. මහනුවරදී ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියේ කොරෝනා මර්දන රාජකාරිහී නියැළෙන වෙනත් රාජ්‍ය සේවකයන් හට ලැබෙන සෞඛ්යාරක්ෂිත පහසුකම් හා සසදන කල ග්‍රාම නිලධාරීන් හට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවය.
තවදුරටත් මාධ්‍ය හමුව ඇමතු සුමිත් කොඩිකාර මෙසේද කීය.
‘පළමු කොරෝනා රැල්ලේදී කිසිදු ග්‍රාම නිලධාරියෙකු හට එම රෝගය නොවැලඳුණත් මේ වන විට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි සිදුකරන ග්‍රාම නිලධාරියකු හා නිලධාරිනියකට මෙන්ම පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුටද කොරෝනා රෝගය වැලඳී තිබෙනවා. දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාම නිලධාරීවරුන් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිනවා. අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම රජයට හා අදාළ වගකිවයුතු බලධාරීන් හට දැනුවත් කළත් මේ දක්වාම යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. මේ වන විට දිවයින පුරා සෑම පළාතකම ග්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි සිදුකිරීමේදී දැඩි දුෂ්කරතාවනට මුහුණපා සිටිනවා. අපි රජයට මෙන්ම අදාළ බලධාරීන්ට බල කරන්නේ මේ දක්වාම ග්‍රාම නිලධාරීන්ට නොලැබුණු සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල, විෂබීජනාශක දියර, මුඛ ආවරණ, අත් වැසුම් ඇතුළු අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් කඩිනමින් ලබා දෙන්න කියලයි. තවදුරටත් බලධාරීන් එසේ නොකළ හොත් මේ රටේ සියලු ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ඒකාබද්ධව අකැමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න අපට සිද්ධ වෙනවා.’
කමල් සුරවීර – මහනුවර
