News

සිරසට එරෙහි වාරණය ජනවාරි 8 දක්වා දීර්ඝ කරයි

 

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ලබන මස 08 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු ලක්මාලි ද සිල්වා මහත්මිය ඉදිරියේ අද (30) කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකළේය.

අනතුරුව අතුරු තහනම් නියෝගය පිළිබඳව විමසීම ජනවාරි මස 8 වන දා සිදුකරන බව අධිකරණය තීන්දු කර සිටියේය.

ඒ අනුව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන බව ද අධිකරණය නියෝග කළේය.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ, කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.

ඉකුත් නොවැම්බර් මස 11, 13, 16 සහ 19 යන දිනවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින් වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරුවන් කියා සිටියේය.

මේ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදු වූ බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.