News

සීනි ආනයනයේදී කෝටි 1000ක වංචාවක්

සතොස හිටපු සභාපතිවරයා, පාරිභෝගික අධිකාරිය සහ විල්මා ආයතනය එක්ව මෙරටට සීනි ආනයනය කරමින් රුපියල් කෝටි 1000 කට අධික මුදලක් වංචා කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (04 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සීනි සඳහා පනවා තිබූ බද්ද රුපියල් 50.00 සිට ශත 25 දක්වා අඩු කරමින් ආණ්ඩුවේ ව්‍යාපාරිකයන්, රජයේ ආයතන සහ ඉහළ නිලධාරීන් ඒකාබද්ධව කළ මෙම නීත්‍යනුකූල මූල්‍ය වංචාවක් පිළිබඳ වහා පරීක්ෂණ පවත්වන ලෙස ජවිපෙ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

මෙම සංවිධානාත්මක මූල්‍ය අපරාධයට සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පාරිභෝගික සේවා අධිකාරිය සහ රජයේ තීන්දු තීරණ ගන්නා ආයතන හා පුද්ගලයන්ගේ සහාය ලැබී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසුවේය.

මෙම වංචාව හෙළිකිරීමෙන් පසුව සතොස සභාපතිවරයාට ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය ලබාදුන් බව කී හෙතෙම වංචාව පුටු මාරුවෙන් වසා ගැනීමට පසුගිය ආණ්ඩුවද උත්සාහ කළ බව කීය.

අදාළ වංචාව සම්බන්ධයෙන් තම පක්ෂය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද පැමිණිලි කරන බව කී වසන්ත සමරසිංහ මහතා මෙය අපරාධ නීතියට අනුව තදබල වරදක් බවද කීය.

මෙම රුපියල් කෝටි දහසේ සීනි වංචාවට වගකිව යුත්තන් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

අජිත් අලහකෝන්