මානව හිමිකම් පීඩනය සහ ණය බලපෑම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාවට එල්ල වන පීඩනය සහ මෙරට විදේශ ණය අවදානම ඉස්මතු කරමින් අන්තර්ජාතික මූල්‍ය ආයතන කිහිපයක් මෑත කාලයේ නිකුත් කරන ලද වාර්තා අතර සම්බන්ධතාවක් පවතින බවක් දැකගත හැකි යැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.
ඊයේ (25 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසීය. මෙම සබඳතාව පිළිබඳ එම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
‘පසුගිය සති කිහිපයේදී පමණක් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්, බාර්ක්ලේස් සහ අයි.සී.ආර්.ඒ. කියන ආයතන තුනක් ශ්‍රී ලංකාව පිළිබඳ හානිකර වාර්තා ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික බලපෑම් එල්ල කෙරෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් පැවැත්වෙමින් තිබෙන කාලසීමාවක් තුළ මෙම වාර්තා තුන හදිසි එළිදැක්වීම අහම්බයක් නොවේ.’ මහා බැංකු අධිපතිවරයා මෙහිදී කීය.
ඉහත ආයතන ත්‍රිත්වය විසින්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වල වී ඇති බව බරපතළ ලෙස අනතුරු අඟවා තිබුණු අතර ඊට පවතින එකම විසඳුම ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග නැවත ගිවිසුම්ගත විය යුතු බව එම ආයතන ව්‍යංගයෙන් අඟවා තිබිණි. එසේම මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන කණ්ඩායම් සියල්ලම අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සමීපව ගනුදෙනු කරන රටවල් වේ.
කෙසේ වෙතත් ඊයේ (25 වැනිදා) පැවැති මෙම මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කරන ලද්දේ මේ මොහොතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙතින් ණය ලබාගැනීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බවයි.
නයන තරංග ගමගේ