උතුරේ අවතැන් ජනතාවට දුම්රියෙන් ගෙනැවිත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි
දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව උතුරේ අවතැන් ජනතාව වෙත දුම්රියෙන් රැගෙන පැමිණි වියළි ආහාර ද්‍රව්‍ය ඊයේ (01) මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදෙනු ලැබීය.
කොළඹ සිට දුම්රිය ස්ථාන අවට ජනතාවද එක්රැස් කළ ආහාර ද්‍රව්‍ය අදාළ දුම්රිය වෙත ලබාදි තිබු අතර, ජල ගැලීම්වලින් අවතැන් ජනතාව වෙත අදාළ භාණ්ඩ බෙදාදීම සිදුකෙරිණ. දුම්රිය දෙපාර්තමේන්තු සේවක සංගම්,දානපතියන් හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ ආහාර ද්‍රව්‍ය රැස්කොට තිබු බව දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් පැවසීය.
සුරකිමු දුම්රිය නමින් සහන සේවා දුම්රිය නම්කොට තිබු අතර දුම්රිය මගින් ගෙනා භාණ්ඩ මාන්කුලම දුම්රිය ස්ථානයේදී මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත හා කිලිනොච්චිය දුම්රිය ස්ථානයේදී කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා වෙත භාරදෙනු ලැබීය.
ලබාදුන් භාණ්ඩ කිලිනොච්චිය හා මුලතිව් ජනතාව වෙත කඩිනමින් බෙදාදීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරුන් එහිදි පැවසූහ. වැඩසටහන් අවස්ථාවන් වෙත දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා,උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුනියාව – මාධව කුලසූරිය