News

නිවාස අධිකාරියේ වියදම කෝටි 104 කින් අඩුකර ගනී

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වියදම 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී රුපියල් කෝටි එකසිය හතරකින් අඩුකර ගෙන ඇත.

2019 වසරේ එම අධිකාරියේ වියදම රුපියල් කෝටි එකසිය අනූ තුනකි. 2020 වසරේදී එය රුපියල් කෝටි අසූ නවයක් දක්වා අඩු කරගෙන තිබේ. ප්‍රවාහන වියදම්, අධ්‍යක්ෂ මණ්ඩල දීමනා, අලුත්වැඩියා හා නඩත්තු වියදම්, අතිකාල දීමනා ආදිය සඳහා 2019 වසරේදී අනවශ්‍ය ආකාරයට මුදල් වියදම් කර තිබූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා පැවැසීය.

අතිකාල දීමනා ලෙස 2019 වසරේදී රුපියල් කෝටි දහයක් වැයකර ඇත.

2020 වසරේදී එය රුපියල් කෝටි හතරක් දක්වා අඩු කිරීමට හැකිවූ බවද හෙතෙම කීවේය.

රාජකාරි කටයුතු නොතිබුණද බොහෝ සේවකයන් නිවාඩු දිනයන්හිදී සේවයට වාර්තා කර අතිකාල දීමනා ලබාගැනීම නිසා 2019 වසරේදී අතිකාල ගෙවීම ඉහළ ගොස් තිබිණි.

එමෙන්ම දේශපාලන රාජකාරි සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාවිච්චි කර ඇති බව කී සභාපතිවරයා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2019 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලබාගෙන තිබෙන්නේ එම අධිකාරියෙන් බවත් අවධාරණය කරයි.

ඊට අමතරව 2019 වසරේ එම අධිකාරියේ අලුත්වැඩියා හා නඩත්තු වියදම් ලෙස රුපියල් කෝටි පහක් වියදම් කර ඇති අතර එය 2020 වසරේ රුපියල් කෝටි දෙකක් දක්වා අඩු කරගෙන ඇත.

චාමර පල්ලේගෙදර