News

ලංකාවට කොවිඩ් ඇවිත් අවුරුද්දයි

මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය ඇරඹී මේ මාසයට වසරක් පිරේ. පසුගිය දින කිහිපය පුරා මෙරට දෛනික කොවිඩ් -19 රෝගීන් වාර්තා වූයේ පන්සියයකට අඩු ප්‍රමාණයකි.

කොවිඩ් රෝගීන් ව්‍යාප්තවීමේ අඩුවක් පවතින්නේද, එසේ නොමැතිව සිදුකරන පරීක්ෂණ අඩුවීද යන්න මේ වන විට සමාජයේ කතිකාවක් ආරම්භ වී ඇත.

කොවිඩ් -19 ව්‍යාප්තිය ඇරඹුණු දා සිට ඊයේ (01දා) දහවල් වන විට මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 82890කි. ඉන් 78739ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි. මෙම පිරිස අතර විදේශිකයෝ 181ක්ද වූහ. මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් රජයට චෝදනා කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ පසුගිය මාසයක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කරනු ලැබුවේ, බොහෝ රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාද වූ නිසා බවය.

පී.සී.ආර්. යන්ත්‍රවල ඇති වූ තාක්ෂණික දෝෂ නිසා එම පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය සති දෙකක පමණ කාලය තුළ නැවතත් පී.සී.ආර්. යන්ත්‍ර සක්‍රිය තත්ත්වයට පත් කොට පෙර පරිදිම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බව ඔහු පැවැසීය. එසේ නම් මේ වන විට දෛනික කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන්නේ මෙරට කොවිඩ් ව්‍යාප්තිය පාලනය වෙමින් ඇති නිසාද නොඑසේනම් වෙනත් හේතුවක් නිසාද යන්න ජනතාවට ඇති ගැටලුවකි.

රජය මේ වනවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතද ජනතාවට ලබාදෙමින් සිටියි. මේ නිසා කොවිඩ් -19 ව්‍යාප්තියේ පාලනයක් සිදුව ඇත්ද යන්න පිළිබඳ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් අප විමසීමක් කළෙමු.

එහිදී ඇය ප්‍රකාශ කළේද මෙරට කොවිඩ් -19 රෝගීන් වාර්තා වීමේ සුළු අඩුවක් පෙන්නුම් කරන බවය. එයට හේතුව ලෙස ඇය ප්‍රකාශ කළේ මෙරට ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම තුළ ප්‍රජාව අතර කොවිඩ් -19 ව්‍යාප්තවීම තරමක් දුරට පාලනය වී ඇති බවය. සුපුරුදු පරිදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළද එමගින් සියයට 4.5ක පමණ රෝගීන් අඩුවීමේ ප්‍රවණාවක් දක්නට ලැබෙන බවද ඇය පැවසුවාය.

මීට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී සියයට 6.5ක පමණ රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වී තිබේ.

එසේම ඇය සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම තුළ කොවිඩ් -19 මෙරට පාලනය වී ඇති බවට මෙතෙක් අදහස් දැක්වීමට නොහැකි බවය. ඒ සඳහා තව ටික කලක් යනු ඇති බවද ඇය කීය. කොවිඩ් මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීම තුළ සියයට 76ක පමණ ප්‍රතිදේහ වර්ධනය වන බවද ඇය සඳහන් කළාය.

ඊයේ (01දා) පෙරවරුව වන විට මෙරට පුද්ගලයන් 464කු මියගොස් සිටියේය. මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සිටි වෛද්‍යවරයකු සහ හෙදියකද විය. එසේම කොළඹ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ මහ නගර සභා සීමාව තුළය.

වරුණි පෙරමුණ