News

කුලී පදනමට ගත් වාහන විකිණූ දෙදෙනකු අත්අඩංගුවේ

කුලී පදනම මත ගිවිසුම් ගසා ලබාගත් වාහන රටපුරා විකුණූ සංවිධානාත්මක කල්ලියක ප්‍රධානියා ඇතුළු දෙදෙනකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය බොරැල්ලේදී අත්අඩංගුවට ගත්තේය.

රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා කේ.ඩී.එච්. වෑන් රථයක් රුපියල් ලක්ෂ පහළොවකට බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීන්ට විකිණීමට යා​මේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම හෙළි වී තිබේ.

ජාවාරම්කරු වාහන දහඅටක් ව්‍යාජ ලේඛන සකසා විකුණා ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

මේ අතරින් සිද්ධින් පහළොවකට නඩු දමා තිබේ. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නඩු නවයක්ද, වැල්ලම්පිටියේ නඩු තුනක්ද, ගොතටුවේ නඩු දෙකක්ද දැනට විභාග වෙමින් පවතී.

පුවත්පත්වල දැන්වීම් පළකර කුලී පදනම යටතේ ගිවිසුම් ගසා ගන්නා වාහනවලට ව්‍යාජ ලිපිලේඛන සකස් කර අඩු මිලට වාහන විකුණන බවට ලද තොරතුරු මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාරගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනවලදී ජාවාරම අනාවරණය කරගෙන ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා