News

දේව පූජා සඳහා වසරකට පොලිතින් කිලෝ විසි දහසක්

කතරගම දේව පූජා කටයුතු සඳහා වසරකට පොලිතින් මල් මාලා මිලියනයක් පමණ භාවිත කරන බවත්, මේ හේතුවෙන් කතරගම පූජා භූමියට වසරකට පොලිතින් කිලෝ විසි දහසක් (20,000) පමණ මුදා හැරෙන බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

පොලිතින්වලින් සිදුවන දැවැන්ත පරිසර හානිය අවම කිරීම සඳහා මෙමස 22 වැනිදා සිට පොලිතින්වලින් සාදන ලද මල්මාලා භාවිතය සීමා කර ස්වාභාවික මල්වලින් සහ තෙල් කඩදාසි සහ කඩදාසිවලින් සකසන ලද මල් මාලා අලෙවිය අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

පරිසර අමාත්‍යාංශය දිවයිනේ 103ක් වන සමස්ත ගංගා පද්ධතිය පවිත්‍ර කිරීම සඳහා කටයුතු යොදා තිබෙන සුරකිමු ගංගා ව්‍යාපෘතිය මෙම මස 22 දින කතරගම මැණික් නදිය අසලින් ආරම්භ කිරීමට නියමිතය. එම උත්සවයට සමගාමීව පොලිතින් මල්මාලා භාවිතය සීමා කෙරේ. වාර්ෂිකව කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය මිලියන 03ක් පමණ වේ.

කතරගම ප්‍රදේශය ආශ්‍රිත පොලිතින් මල් මාලා සැකසීමේ කර්මාන්තයේ 300ක් පමණ පිරිසක් යෙදී සිටිති. ස්වාභාවික මල් හා තෙල් කඩදාසි උපයෝගී කර ගනිමින් මල්මාලා සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ඊට අවශ්‍ය සම්පත් ලබා දීමට පියවර ගැනීමටද පරිසර අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

බම්බලපිටියේ හින්දු කෝවිල් සඳහා අවශ්‍ය මල්මාලා ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් බවත්, මේ නිසා වාර්ෂිකව ඉන්දියාවට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය මේ රටේම ඉතිරි කරගත හැකිවන අයුරින් ස්වාභාවික මල් වගාව සඳහා මෙරට ගම්මාන ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීවේය.

සාලිය කුමාර ගුණසේකර