News

දෙවැනි මාත්‍රාවට තොග ලෑස්තියි: 60ට වැඩි අයට එන්නත අනිද්දා

කොවැක්ස් වැඩසටහන යටතේ ලැබුණු කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතර දහස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදීම මෙම සෙනසුරාදා (13 වැනිදා) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය ​හේමන්ත හේරත් පවසයි.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ප්‍රදේශවල පුද්ගලයන්ට මෙම කොවිඩ් එන්නත ලබාදීමට නියමිතය. එමෙන්ම දැනට කෙරීගෙන යන එන්නත්කරණ වැඩසටහන මෙම සිකුරාදා (12 වැනිදා) දිනට පමණක් තාවකාලිකව නවත්වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න මෙදින එන්නත්කරණය සිදුනොවේ. තවද මෙරටට ලැබුණු එන්නත් තොග අතරින් දෙලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් මේ වන විට ඉතිරි කරගෙන ඇති බවත් දෙවන මාත්‍රාව ලෙස එම එන්නත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ලබාදෙනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී.

වරුණි පෙරමුණ