News

ප්ලාස්ටික් කිලෝග්‍රෑම් කෝටි 335ක් රටින් ගෙන්නලා

2012 වසරේ සිට 2018 දක්වා කාලයේදී ප්ලාස්ටික් කිලෝග්‍රෑම් කෝටි 335කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ.

මෙසේ ගෙන්වූ ප්ලාස්ටික් සඳහා එම කාලය තුළ රුපියල් කෝටි දහ අට දහස් හාරසිය තිහක් වැය කර ඇත.

මෙරට ජාතික පාරිසරික පනත වසර විස්සක් තිස්සේ යාවත්කාලීන කිරීමට කරන උත්සාහය මෙතෙක් සාර්ථක වී නැති බවද එනිසා එම පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසද කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට දැනුම් දුන්නේය

2012 සිට 2017 දක්වා ප්ලාස්ටික් ආනයනික ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත. මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක නොවන නිසා වර්තමානයේ කරන ආනයන ප්‍රමාණය රටට දැරිය නොහැකි මට්ටමක ඇතැයිද කෝප් කමිටුව මෙහිදී පරිසර අමාත්‍යාංශයට පෙන්වා දුන්නේය.

අප ද්‍රව්‍ය කළමනාකරණ ජාතික ප්‍රතිසංස්කරණයට 2019 ඔක්තෝබර් 10 දින ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අප්‍රසාදය පළ වි තිබේ.

අජිත් අලහකෝන්