News

වසරකට මිලියන 06ක් දුම් පානයෙන් මිය යයි

දුම් පානය හේතුවෙන් වසරකට ලොව පුරා මිලියන 06ක පමණ පිරිසක් මරණයට පත්වන බව සංඛ්‍යා ලේඛන මගින් හෙළි වී තිබෙන බව වාර්තා වේ.

ඒ අතර අක්‍රීය දුම් පානයට ලක්වන පුද්ගලයින් ලක්ෂ 06ක් පමණ වීම විශේෂත්වයක් වේ.

අක්‍රීය දුම ( Secondhand smoke) යනු දුම් පානය කරන්නෙක් විසින් පිට කරන දුමාරය වෙනත් පුද්ගලයෙකු ආශ්වාස කිරීමයි.එය සිගරට්, දුම් පයිප්ප සහ සුරුට්ටු ඇතුළු සියලුම ආකාරයේ දුම්වැටි භාවිත කරද්දී ඇති වන අහිතකර තත්ත්වයක් වේ.

එලෙස පිටවන සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍ය 4000 ක් පමණ අඩංගු වන අතර එම රසායනික ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ මිනිස් සිරුරට අහිතකර වන අතර එම සංඝටක 50 කට වැඩි ප්‍රමාණයක් පිළිකා කාරක ඒවා බවට සැලකෙයි.

මෙලෙස අක්‍රිය දුම්පානයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන් විමත් බරපතල කරුණක්වේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 22%ක්ම අක්‍රිය දුම් පානයට මුලුමනින්ම නතු වන්නේ තමන්ගේම නිවස තුළ වේ. තමගේ රාජකාරි ස්ථානයේ දී කාන්තාවන් 11%ක් අක්‍රීය දුම් පානයට ගොදුරු වෙයි.

ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 60%ක් දිනපතාම අක්‍රීය දුම් පානයට ගොදුරු වන බව විද්‍යාඥයින් විසින් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය කර ගෙන ඇත.

එක අවුරුද්දකට ශ්‍රී ලංකාවේ 30,000 – 40,000 ත් අතර කාන්තාවන් වැන්දඹුවන් බවට පත් වන්නේ දුම්කොළ සහ මද්‍යසාර නිසා බව ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් දුම් පානය කරන පුද්ගලයින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයින් විසින් අනාවරණය කිරීමත් සමඟ ලෝකයේ මිලියනයකට අධික පිරිසක් මේ වන විට දුම් පානය අත්හැර ඇති බව වාර්තා වේ .

මෙරට දුම්පානය කරන ජනතාව දෛනිකව රුපියල් මිලියන 290කට ආසන්න මුදලක් දුම්වැටි වෙනුවෙන් වියදම් කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සංඛ්‍යා ලේඛන වල දැක්වෙන බව වාර්තා වේ.