පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙන ලදී.
කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවැති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කර ඇතැයිද පැවැසූ ජනාධිපතිවරයා මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග පසුගිය 12 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවැසීය.
ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළේය. මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 ඇතුළත රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය. ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති. රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටී. ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරීම වැදගත් යැයි ජනාධිපතිවරයා අවධානය කරයි.
ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට විශාල වැඩකොටසක් කර තිබේ. රැකියා උත්පාදනය කෙරෙන සහ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ඇත. පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව පෙබරවාරි 01 වැනිදා භාරදුන් පසුව දින 28ක් ඇතුළත කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් කොමිෂන් සභා වාර්තාව සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යනවා යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇත. විශාල ආන්දෝලනයක් ඇති කළ MCC ගිවිසුම ඉවත් කරගෙන තිබේ. රණවිරුවන්ට හා රටේ ස්වෛරීත්වයට දැවැන්ත පහරක් එල්ල කළ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවට දුන් සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනිණ. කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග ගැන කිසිවෙක් කතා නොකළද ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු හා ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් රටේ උන්නතිය උදෙසා කැප වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.