News

නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්පැන් බෝතල් 46ක් අතුරුදහන්

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට අයත් නඩු භාණ්ඩ ගබඩාවෙන් කුඩා මත්පැන් බෝතල් 46 සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මූලස්ථාන පොලිසියට අනුයුක්ත සැරයන්වරයකු හා තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (13 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අංශ පැවසූවේ නඩු භාණ්ඩ ගබඩාවේ භාණ්ඩ සොරාගැනීම් සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත කළ දැනුම් දීමකට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පැවැත්වූ විමර්ශනවලට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා සෙසු පුද්ගලයන් දෙදෙනා සමග එක්ව නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ කුඩා මත්පැන් බෝතල් සොරාගෙන රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවද ආරක්ෂක අංශ කීය.

මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ උසාවි ආරක්ෂක සේවයට යොදවා සිටි සැකකාර පොලිස් සැරයන්වරයා එලෙස නඩු භාණ්ඩ සොරාගෙන ඇති බවත්, ඔහුගේ සොරකම් වැළැක්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුටද බැණ වැදී ඇති බවත්ය.

අදාළ සිද්ධිය පොලිස් නිලධාරියකු විසින් ජායාරූප ගතකොට ඇති අතර, එහි නඩු භාණ්ඩ ගබඩාවේ මත්පැන් බෝතල් සොරකම් කරන අයුරු දැක්වෙන බවද මුලතිව් ආරක්ෂක අංශ පැවසීය. සැකකාර පොලිස් සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලතිව් උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීම අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග කීය.

මාධව කුලසූරිය-වවුනියාව