News

අලුත්වැඩියා කළ චීන දුම්රිය මැදිරි ධාවනයට

තිරිංග අක්‍රීයවීම් ඇතුළු විවිධ යාන්ත්‍රික දෝෂවලට ලක්ව රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියාව සඳහා යොමු කළ චීන දුම්රිය මැදිරි විස්සක් පමණ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කර තිබේ.

මෙම දෝෂ පැවතීම හේතුවෙන් දුම්රිය රියැදුරු හා නියාමක සංගම් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළ චීන මැදිරි හැත්තෑවකට අධික ප්‍රමාණයක් රත්මලාන කර්මාන්ත ශාලාව වෙත ගෙන එනු ලැබිණි.

මෙලෙස අලුත්වැඩියා හා නඩත්තු කරන ලද දුම්රිය කට්ටල දෙකක මැදිරි විස්සක් මේ වන විට නැවත ධාවනයට එක්කර ඇතැයි රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරු අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි කීර්ති හේවාවිතාරණ සඳහන් කළේය. සෙසු මැදිරි මේ වසර අවසන් වීමට ප්‍රථම අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කරනු ඇතැයි ද හෙතෙම පවසයි.

එෆ් අස්ලම්