News

අනවසරයෙන් ලංකාවට රැගෙන ආ ෂැම්පූ හා ක්‍රීම්

කන්ටේනරයක් තුළ සඟවා මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කළ ෂැම්පූ, හිස ගල්වන ඇතුළු විවිධ ක්‍රීම් වර්ග තොගයක් රේගු කර්මාන්ත හා සේවා අංශය අත්අඩංගුවට ගෙන ඇත.

ආනයනය කරන ලද ෂැම්පූ, ක්‍රීම් වර්ග ආදිය ඇසුරුම් 226 ක බහා තිබී ඇති අතර, එම බහාලුම්වල බර කිලෝග්‍රෑම් 3000 කට අධික බව රේගු අධ්‍යක්ෂක ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය පවසයි.

පානදුර ප්‍රදේශයේ ආයතනයකට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක නමක් සඳහන් කරමින් මෙම භාණ්ඩ ආනයනය කර ඇත්තේ තීරු බදු සහනය යටතේ බවද හෙළිදරව් වී ඇත.

මෙම භාණ්ඩ ආනයනය කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසරයකින් තොරව බවද රේගුව අනාවරණය කරගෙන තිබේ.

සාලිය කුමාර ගුණසේකර