News

ගාලු කොටුවෙන් මතුවූ කෞතුක භාණ්ඩ

ඓතිහාසික ගාලු කොටු පවුරේ දොරටුව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී 14 සහ 15 වැනි සියවස්වලට අයත් කෞතුක භාණ්ඩ රැසක් හමුවී තිබේ.

පිඟන් භාණ්ඩ කැබැලි, වළං කටු, යකඩ කැබලි. සත්ත්ව අස්ථි කොටස්, ඒ අතර දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ කොටුවේ කැණීම් ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය නිල් පෙරේරා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන් අතර ගාලු කොටුව ඉතා වැදගත්. මෙය නිර්මාණය කළේ පෘතුගීසීන්, පසුව ඕලන්ද ජාතිකයන් එය විධිමත් කළා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයන් එය යම් යම් ප්‍රතිසංස්කරණයන් සිදුකළා. ජාතික වැදගත්කමක් ඇති පුරාවිද්‍යා ස්මාරකයක් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර විධිමත් ආකාරයේ පර්‌යේෂණ කැණීමක් අවශ්‍යයි. ඒ අනුව මෙම කැණීම් කරනවා. ප්‍රාකාර බැම්මේ මේ දොරටුව නිර්මාණය කර තිබෙන්නේ එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල බ්‍රිතාන්‍ය යුගයේදීයි. මේක පිටතින් බැලුවාම ගඩොල් බැම්මක් වගෙයි. නමුත් එකිනෙකට වෙන් වූ පැති බැමි තුනක් තිබෙනවා. ඒ බැමි තුන පිටතින් ගෙනැල්ල පස් පුරවලා. ඒ පස්වල තමයි මේ පුරා වස්තු තිබු​ණේ. මේවා 14 සහ 15 වැනි සියවස්වල ඒවායි. මේවායින් එකල ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය දේශපාලන ක්‍රමය අනාවරණය කර ගැනීමට පුළුවන්.

ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක නිලාන් කුරේ පැවසුවේ මෙවැන්නකි. මේ දොරටුව එක් දහස් අටසිය ගණන්වල නිර්මාණය කරපු එකක්. මේ ආරුක්කුව නිර්මාණය කරල තියෙන්නේ පස්දාලා. ජලය කාන්දුවීම නිසා උඩ ගෝලාකාර කොටස දිරාපත්වෙලා. එනිසා පැරණි පස් ඉවත් කරල අලුතෙන් ආරුක්කුව උඩින් කොන්ක්‍රීට් එක්ක දානවා. ඒක හුණු වැලි සහ ගඩොල් කැබලිවලින් දාන කොන්ක්‍රීට් එකක්. වතුර කාන්දු නොවීමට දෙපසින් කානු දෙකක් දානවා.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල