News

මහා පරිමාණ සහල් ජාවරම්කරුවන්ට නිලධාරිනුත් හවුල්

සහල් ආනයනය කරන මහා පරිමාණ ජාවාරම්කාරයන් කිහිපදෙනකු සමග වෙ​ළෙඳ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කිහිපදෙනකු එක්වී සිටින බවත්, විශාල කොමිස් මුදලක් මෙම දෙපිරිස අතර හුවමාරු වන බවත් මේ වන විට අනාවරණය වී ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ අනුරාධ තෙන්නකෝන් පැවසීය.

ඔහු පවසා සිටියේ මෙරටට සහල් ආනයනය කරන ප්‍රධාන රට වන්නේ ඉන්දියාවයි. අඩුම මුදලට සහල් ලබාදෙන්නේත් ඉන්දියාවයි. එහෙත් අඩුම මුදලට ඉන්දියාවෙන් ගෙනෙන සහල් මෙරට විකුණන්නේ ජනතාවට දැරිය නොහැකි මුදලකට බව කියයි.

කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ මෙවර අපේක්ෂිත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන තුනයි දශම දෙකක් වුවත්, මේ වන විට ගොවීන්ගේ අස්වැන්න ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකදී එළිවී ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හතක් පමණක් මෙවර අපේක්ෂා කර අැති බව යැයි සභාපතිවරයා කියා සිටියේය.

ඔහු මෙහිදී පවසා සිටියේ ගොවීන් සතුව මේ වන විටත් ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහළොවක සංචිතයක් බවත්, රජය දැන් කළ යුත්තේ සහල් ආනයනය කිරීමට වැය කරන විශාල මුදලෙන් මේ වී මිලදී ගෙන නව යාන්ත්‍රණයක් ඇති කිරීම බවත්ය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් පිටරටින් ගෙන්වා කුණු කොල්ලයට මෙරට පාරිභෝගිකයන්ට විකිණීමට කටයුතු කිරීම රජය වහ නවතා දැමීය යුතු බවටත් ගොවීන් ළඟ තිබෙන වී සංචිත මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත් කටයුතු කළ යුතු බව ඒ මහතා මෙහිදී පැවසීය

අශිකා ජයවීර