මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 54ක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සදහන් කළේ ඊයේ රාත්රීයේ සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
උතුරු නාවික විධානය මගින් යාපනය, කෝවිලන් ප්රදේශයට නාවික සැතපුම් 03ක් පමණ ආසන්නයෙන් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි විශාල ප්රමාණයේ ඉන්දීය ධීවර යාත්රාවක් (01) එහි සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එමෙන්ම උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, පේසාලේ ප්රදේශයට නාවික සැතපුම් 07ක් පමණ සහ ඉරණතිවු දූපතට නාවික සැතපුම් 05 ක් පමණ ආසන්නයෙන් Trawling පන්න ක්රමය භාවිත කරමින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි තවත් ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02), ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.
මේ අතර, නැගෙනහිර නාවික විධානය මගින් අන්තර් ජාතික මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 62ක් පමණ මෙරට මුහුදු තීරයට තුළට ඇතුලු වී මුලතිවු ප්රදේශයට මුහුදු සැතපුම් 07.5ක් සහ 08.5ක් පමණ ආසන්නයෙන් Trawling පන්න ක්රමය භාවිත කරමින් අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි තවත් ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02), එහි සිටි ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා 05 සහ ඉන්දීය ජාතිකයින් 54 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශයන් වෙත භාරදීමට නියමිතයි.