News

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 21ක්

මේ මාසයේ දුරගමන් සේවා දුම්රිය සියල්ලෙහිම සති අන්ත ආසන වෙන්කිරීම් සියයට අනූවකින් වෙන් වී අවසන්ව ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ අරුණට ඊයේ (01 වැනිදා) පැවසීය. නගරාන්තර ශීඝ්‍රගාමී, ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය සඳහා දෛනිකව ආසන 7200ක් පමණ වෙන්කරන බවද, වෙන්කිරීමට නොහැකි මැදිරිවල සාමාන්‍ය පරිදි ගමන් කළ හැකි බවද හෙතෙම කීවේය.

ආසන ධාරිතාවෙන් සියයට අනූවක්ම වෙන්කරගෙන ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන සති අන්තයේ දිනවල වන අතර සියයට හැත්තෑවත් අසූවත් අතර ප්‍රතිශතයක් සතියේ දිනවලදී ආසන වෙන් කරගෙන ඇත.

අප්‍රේල් මාසයේ දෙවන හා තෙවන සතියේ වැඩිම ආසන ගණනක් වෙන් කරගෙන ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දැනට ධාවනය වන දුම්රියවලට අමතරව උත්සව සමයේ ගම්බිම්වලට යාම සඳහා විශේෂ දුම්රිය 21ක්, දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව ධාවනයට එක් කර ඇතැයි වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හයදහසක්ද යොදවා ඇත.

එෆ්. අස්ලම්