News

ලංවිම ගොඩගන්න කෝටි 2000ක ණයක්

සිය මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 20ක (රුපියල් කෝටි 2000ක) ණයක් ලබාගැනීමට සූදානම් වේ.

කොළඹ කොටස් හුවමාරුව පසුගිය අප්‍රේල් 01 වැනිදා නිවේදනය කළ ආකාරයට රුපියල් 100 බැගින් රුපියල් බිලියන 20ක් දක්වා වූ ණයකර නිකුතුවක් විදුලිබල මණඩලය වෙනුවෙන් කෙරෙනු ඇත.

මෙම ණයකර වසර පහක කාලයක් සඳහා 9.35% ක ස්ථාවර පොලී අනුපාතයක් සහිතව නිකුත් කෙරෙන අතර එම නිකුතුව 2021 අප්‍රේල් 8 වැනිදා ආරම්භ වේ. විදුලිබල මණ්ඩලයේ අභිමතය පරිදි තවත් ණයකර මිලියන 100ක් දක්වා අතිරේකව නිකුත් කිරීමේද හැකියාවක් සහිතව මෙම ණයකර නිකුත් කිරීම ආරම්භ වේ. ආරම්භයේදී රුපියල් බිලියන 10ක ප්‍රාග්ධනයක් මෙහිදී නිකුත් කෙරෙන අතර පසුව ඉතිරි රුපියල් බිලියන 10 නිකුත් කෙරෙනු ඇත.

මෙම ණය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක පවසන්නේ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ මගින් සිය ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවයි.

නයන තරංග ගමගේ