විශේෂාංග

දරුවෙක් ඉන්න ගේක සුරතල් සතෙක් ඉන්නකොට ගුරුවරයෙක් ඉන්නවා වගේ!

‘‘පොඩි දරුවෙක් චූටි කාලේ ඉඳලා හැමතිස්සෙම යැපෙන්න දේවල් අම්මගෙන් බලාපොරොත්තු වෙනවා. නැත්තම් තාත්තගෙන්, අයියගෙන්, අක්කගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. එයා චූටි කාලේ කිසිම දෙයක් තනියම කරගන්න බලාපොරොත්තුවක් නෑ. එහෙම දරුවෙකුට සුරතල් සතෙක් ලැබුණොත් මේ කියන මනස වෙනස් වෙනවා.’’

එහෙම කියන්නේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණයි. ඔහු කියන්නේ දරුවෙකුට මල්ලියෙක් හරි නංගියෙක් හරි නැතිනම් සුරතල් සතෙක් හෝ සිටීම හොඳ බවයි.

‘‘දරුවෙක් තනියම හැදෙනකොට එයාට හැමදේම එකින් එක අම්මා උගන්වන්න ඕන. සාමාන්‍ය ජීවිතේට ඕන ඉවසීම, ආදරය, කරුණාව, ළමා කාලේ ගොඩනැගෙන පෞරුෂත්වය, බෙදා හදාගැනීම, පරාර්ථකාමී බව වගේ දේවල් මේ දරුවට කියලා දෙන්න අම්මට පුදුමාකාර වෙහෙසක් දරන්න සිද්ධවෙනවා. එහෙම කියලා දීලත් සමහර දරුවන්ට ආදරය, කරුණාව පිළිබඳ හැඟීම දෙන්න බෑ. සමහර දරුවන්ට ඉවසීම පුරුදු කරන්න බෑ. මමත්වය නැති කරන්න අමාරුයි. ඒත් සුරතල් සතෙක් එක්ක හැදෙන දරුවෙකුගේ ළමා මනසට ඉතා පහසුවෙන් මේ දේවල් ඉබේම පුරුදු පුහුණු වෙනවා විතරක් නෙවේ ඒ ගතිගුණ ලේ වලටත් කා වදිනවා.’’

සුරතල් සතෙක් හදනවිට දරුවාගේ මනසට ස්වභාවයෙන්ම වගකීම් සහගත බවක් දැනෙන අතර සතා බලාගන්න උවමනාය, සතාට කෑම බීම දෙන්න උවමනාය, නිදාගන්නට ඕනෑය වැනි සිතිවිලිවලින් නිරන්තරවම සිත පිරෙයි. මේ සුරතලා පෝෂණය වන්නේ තමන්ගෙන් බවත් එයාව බලා ගන්නට ඕනේ තමන් බවත් දරුවාගේ හිතට දැනෙද්දී එය හැකි උපරිමයෙන් කරන්නට දරුවා උත්සාහ කරයි.

‘‘පොඩි ළමයෙක්ගෙ පැන්සලක්, පාට කූරක් ඒත් නැත්තම් සෙල්ලම් බඩුවක් වෙන ළමයෙක් ගත්තොත් එයාට තරහ යන්න පුළුවන්. එහෙම වෙලාවට පොළොවෙ අඩි හප්පලා මරහඬ දීලා ඒක ඉල්ලන ළමයි ඉන්නවා. ඒත් සුරතල් සතෙක් හදනකොට ඒ සතා එයාගේ පෑන්, පැන්සල් විතරක් නෙවෙයි සපත්තු, සෙල්ලම් බඩු පවා කටින් අරන් දිව්වාට. ඒවා කඩලා බිඳලා දැම්මට දරුවාට කේන්ති එන්නෙ නෑ. ඒ වෙනුවට තවත් දේවල් සුරතලා එක්ක බෙදා හදාගන්න කැමතිවෙනවා. ඒ වගේමයි කෑමක් බීමක් වුණත් කිසිවෙකුට නොදී කාපු දරුවෙක් සුරතලෙක් හදන්න ගත්තම එයා එක්ක කෑම බීම බෙදා හදාගෙන කනවා. එයාට බඩගිනි ඇති, තිබහ ඇති, නිදිමත ඇති, සීතල ඇති, කවුරු හරි පාරක් ගැහුවොත් රිදෙනවා ඇති වගේ තමාට දැනෙන හැඟීම් තුළින් ආදරය කරුණාව සතා කෙරෙහිත් ඇති කරගන්නවා. සතෙක්ගෙ වේදනාව පොඩි කාලෙ අඳුරගත්ත දරුවා ලොකු වුණාම මිනිස්සුන්ගේ වේදනාවත් අඳුරනවා. ඔය දේවල් දරුවෙක්ට තව කෙනෙක් විසින් අමුතුවෙන් කියලා දෙන්න යනකොට ගොඩක් දේවල් කියලා දෙන්න සිද්ධවෙනවා. ඒ වගේ මානුෂීය ගුණ සුරතලා තුළින් ඉගෙනගන්නා අතරේ කළමනාකරණය වැනි දේත් හුරුවෙනවා. එයාගේ සුරතලා බල්ලෙක් නම් එයාව වැඩිහිටියෙක් නාවනකොට දරුවා තමයි හැමදාම ෂැම්පු ටික දෙන්නේ. පිහදාන්න ටවල් එක ගෙනත් දෙන්නේ. ඊළඟ නාවන දවස මතක් කරන්නේ. සමහරවිට පවුඩර් ටික දාන්න තුවාලයක් නම් බේත් ටික දාන්න මතක් කරන්නෙ.’’

මේ සියල්ල සමග සතුට, දුක, වේදනාව වැනි හැඟීම් ද ළමා කාලයේම සුරතලෙක් තුළින් හිතට හුරුවන අතර සුරතලා ප්‍රීතියෙන් සිටින අවස්ථා දරුවා ද ප්‍රීතියෙන් සිටින අවස්ථාවන් වේ. ලෙඩක්, දුකක්, තුවාලයක් වැනි දේකින් සතා පීඩාවට පත්වෙද්දී ඒ අවස්ථාවල දරුවාද වේදනාවෙන් සිටියි. ආදරේ කරපු අයගෙන් ඈත්වීම, වෙන්වීම ගැනත් දරුවා පොඩි කාලේම අත්දැකීම් ලබයි. සමහරවිට ගමනක් යද්දී සුරතලා ගෙන යන්නට, දරුවන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. එසේම අපි ආදරේ කරපු සතෙක් අපිව හැරයාමේ අත්දැකීමට මුහුණ දෙන හැටි, ඒ ගැන අවබෝධයක් ලබන හැටිද ඉබේටම දරුවෙකුට හුරුවෙයි.

‘‘මේ විදිහට සතෙක් එක්ක හැදෙන දරුවෙක් ගණනය කරන්න බැරිතරම් දේවල් ඉගෙනගන්නවා. අත්දැකීම් එක්ක හැදෙන දරුවෙක් ලොකු වෙද්දී අනෙක් අයට වඩා හොඳ ඉහළ මානසික තත්ත්වයක ඉන්නවා. අනෙක් අයට වඩා හැම දෙයක් දෙසම විවෘතව බලන්න, සවන් දෙන්න වගේම මධ්‍යස්ථව හිතන්නටත් ඒ අයට පුළුවන්. ඒ නිසයි මං දකින්නෙ දරුවෙක් ඉන්න ගෙදරකට සතෙක් ගෙනාවොත් ගුරුවරයෙක් ගෙදරට ගෙනාවා හා සමානයි කියලා. ඒ නිකම්ම ගුරුවරයෙක් නෙවේ ප්‍රායෝගික ගුරුවරයෙක්.’’

එසේ සුරතලෙක් සමග හැදෙන දරුවෙක් සමහරවිට නිදන ඇඳ බෙදාගන්නා අවස්ථාත් ඇත්තේය. එය හොඳයි කියන්නත් බැරි නරකයි කියන්නත් බැරි ක්‍රියාවක් වන්නටත් හේතු ඇත්තේය.

‘‘බල්ලා අපිත් එක්ක අනාදිමත් කාලයක් තිස්සේ ජීවත්වෙන සතෙක්. ඒ කාලසීමාවේ අපිට බල්ලා ළංවෙලා හිටපු නිසා බල්ලන්ගෙන් අපිට බෝවෙන ලෙඩ හැදීමේ ප්‍රවණතාවය හුඟක්ම අඩුයි. ඒත් පූසා එහෙම නෙවෙයි. පූස්ලගෙ සමහර සංකූලතා අපිට ඇතිවෙන්න පුළුවන්. බල්ලන්ගෙ වගේ නෙවේ පූසන්ගෙ ලොම් වැඩිපුර යනවා. එතකොට වීසින් වගේ ආසාත්මිකතා ඇති දරුවෙකුට ඒක අහිතකර විදිහට බලපාන්න පුළුවන්. එන්නත්වලින් වළක්වන රේබීස් වැනි සමහර ලෙඩ, පණු රෝග, රෑෂ් වර්ග වැනි ඒවා දරුවන්ට හැදෙන්න පුළුවන්. ඒත් ඒ හැදීම වළක්වන්න අපිට පුළුවන්. සුරතලෙක් හැදීම තුළින් දරුවව හුරුකරන්නෙ මේ අවදානමටයි. සතාට අවශ්‍ය එන්නත්, පණු බෙහෙත් වැනි දේ නිසි කාලයට ලබාදෙන්න ඕන. ඒ අතරේ ඒ ලබාදෙන එන්නත්, ඖෂධවලින් හැදෙන ලෙඩ ගැන දරුවාට කියලා දෙන්න පුළුවන්. එතැනදි දරුවා ප්‍රශ්න කරනවා. මේ එන්නත් දිගටම කරනවද? එතකොට සතාට ලෙඩ හැදෙන්නෙ නැත්ද? සතාව මගේ ඇඳේ තියාගත්තට කමක් නැද්ද? බෙහෙත් විදලා නෑව්වට කමක් නැද්ද? මගේ පිඟානෙන් කන්න දුන්නට කමක් නැද්ද? කියලා. එතනදී දරුවට කියලා දෙන්න පුළුවන් සත්තුන්ට ආදරේ වුණත් පිඟානෙන් කන්න දීම, ඇඳේ තියාගැනීම හොඳ මදි බව. හැමදේකම මධ්‍යස්ථ බවක් ඇතිබව. පිටරට බල්ලන්, පූසන් හදන්නෙ ගෙවල් ඇතුළෙ. එතකොට එයාලා පිටත පරිසරයට යන්නෙ නෑ. අපේ අය එහෙම නෙවේ. ජීවත්වෙන්නෙ පිටත පරිසරය එක්කයි. එතකොට ලෙඩරෝග විෂබීජ වැඩියි. ඒ නිසා එළියෙ හැදෙන සතෙක් ඇඳට නංවා ගැනීම ඒ තරම් සුදුසු නෑ. පූසෝ කොහොමහරි එළියට බැහැලා කටුස්සො, මීයො, හූනෝ, කැරපොත්තො වගේ සත්තු කනවා. එතකොට එයාලගේ කටේ විෂබීජ නිරන්තරව තියෙනවා. එහෙම සතෙක් එක්ක දරුවෙක් එකම පිඟාන බෙදාගෙන කන බොන එක අනුමත කරන්න බෑ.’’

ඔබ හදන සුරතලා ගැන හොඳින්ම දන්නේ ඔබයි. නිසි ලෙස පණු බෙහෙත් දී ඇතිද, වාර්ෂිකව එන්නත් ලබාදෙනවාද කියා හොඳින් දන්නේ ඔබයි. එසේ නිසි ලෙස හදන සතෙක් සමග දරුවාට හැදෙන්නට ඉඩදීමෙන් ආයාසයක් තොරවම ඔබේ දරුවා කුඩා කාලයේ පටන් යහපත් මානුෂීය ගුණධර්මයන්ගෙන් යුත් අයෙකු බවට පත්කරගන්නට ඔබටත් පුළුවන.

පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ

සටහන බියංකා නානායක්කාර