විශේෂාංග

දහඩිය බිඳුවක්වත් නොහෙලා සිහින් සිරුරක් ලබාගන්න

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක

මාලිංග ප්‍රනාන්දු

Personal Grooming Trainer NVQ 4,5

‘‘එකපාරක් නොහිතුව විදිහට මම මහත් වෙන්න පටන් ගත්තා. ඒ නිසාම මිලාන් විලාසිතා සතියේ සමහර නිර්මාණකරුවෝ ‘මහත කෙල්ල’ කියලා මට විහිළු කළා. බර අඩු කරගන්න බැරි නම් මාත් එක්ක වැඩ කරන්න බැහැ කිව්වා. ඇත්තමයි ඒ කාලෙ නම් මට ජීවිතේ එපා වෙලා හිටියේ.’’

මිලියන හතකට වැඩි ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් පිරිසක් හිමි සුපිරි නිරූපිකාවක් වන ඇමෙරිකාවේ ටයිරා බෑන්ක්ස් සිරුරේ බර වැඩි වීම නිසා අත්විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීමක් පිළිබඳව පවසා තිබුණේ එවැන්නක්ය.

සිරුරේ බර වැඩිවීම නිසා පීඩාවට පත්වූ එකම කාන්තාව ඇය නොවේ. අද වනවිට මේ ගැටළුව නිසා බොහෝ කාන්තාවන් ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්වී ඇත. තරමක් මහත ගැහැනු ළමයෙක් දුටු විට ‘ටයර් පැනලා, ගල් රෝලක් වගේ’ වැනි වදන්වලින් ඔවුන්ට උසුළු විසුළු කරන ආකාරයද අපට ඇසී ඇත.

‘‘බර වැඩි වෙනකොට ශරීරයේ හැඩයත් ඉබේටම වගේ වෙනස් වෙනවා. පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන් ශරීරයේ හැඩය ගැන වැඩිපුර හිතනවනේ. ඒ වගේම ඔවුන් අන්‍යයන් සමඟ තමාව සංසන්දනය කරන්නත් හරි දක්ෂයි. ඉතින් ඒ නිසා මේ ගැටළුව කාන්තාවන්ට මානසිකවත් බලපානවා.’’

සිරුරේ බර වැඩිවීම කාන්තාවකට මානසිකව බලපාන ආකාරය පිළිබඳව එංගලන්තයේ සුප්‍රකට සායනික මනෝ විද්‍යාඥවරියක වන ජන්නා ෆික්කන් පවසා තිබුණේ එවැන්නකි.

ඇමෙරිකාවේ විස්කොන්සීන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ක්‍රිස්ටීන් ඒ. ස්මිත් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූයේ තරබාරුකම නැතහොත් සිරුරේ හැඩය අහිමි වීම නිසා බොහෝ අයවලුන්ට ජීවිතයේ එක්වරක් හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි පහල වී ඇති බවයි.

තවද මේ බොහෝදෙනාට තමා පිළිබඳව ආත්මවිශ්වාසයක් නොමැති බවත් ඒ නිසාම රැකියාවේ සහ සාමාන්‍ය ජීවිතයේ ගැටළු ඇති කරගන්නා බවත් එහිදී හෙළි වී ඇත.

සිරුරේ හැඩය පිළිබඳව උනන්දු වන අය සිහින් සිරුරක් සඳහා නොකරන දෙයක් නැති තරම්ය. 18 වන සියවසේ විසූ ඇතැම් කාන්තාවන් තම සිරුරේ බර අඩු කරගැනීම සඳහා ඉතා මාරාන්තික රසායනික ද්‍රව්‍යයක් වන ආසනික් පවා පානය කළ බව සඳහන්ය. සති කිහිපයකින් බර අඩු කරනවා යැයි පැවසුවහොත් ප්‍රමිතියක් ඇති හෝ නැති ඖෂධ වර්ගයන්, පානයන් බිය සැක නැතිව පානය කරනා යුවතියන් වර්තමාන සමාජයේ දුලබ නැත.

ප්‍රතිඵල රහිත එවැනි වාණිජ නිෂ්පාදන වෙනුවට ශරීරයේ බර ඉක්මනින්ම අඩු කරනා ඉතා අනර්ඝ සත්කාරයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සිතුවේ ඒ නිසාය.

‘‘ගොඩක් කාන්තාවන් බර අඩු කරගන්න ඒ වගේම ලස්සන ඇඟක් හදාගන්න පුදුම විදිහට මහන්සි වෙනවා. හැබැයි ගොඩක් අයට මහන්සි වෙන තරමටම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දහඩිය බින්දුවක්වත් හලන්නේ නැතුව ඔබ සිහින මවන විදිහේ ලස්සන ඇඟක් ලබාගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද ඕන තරම් මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතරින් Radiofrequency සහ Ultrasound කියන ක්‍රමවේද දෙක භාවිත කරලා සිදුකරන සුවිශේෂී සත්කාරයක් ගැන තමයි මේ කියන්නේ.

මේ සත්කාරයෙන් ඉන, උදරය, කලවා, පසුපස පෙදෙස වගේ මාංශලමය ස්වභාවයෙන් වැඩි ඕනම තැනක තැම්පත් වෙලා තියෙන මේදය ඉවත් කරගන්න පුළුවන්.

සත්කාරයේදී මුලින්ම අපි Radiofrequency කියන උපකරණය විනාඩි කිහිපයක් සිරුරට අල්වාගෙන ඉන්නවා. එමගින් තාප කම්පන තරංගයක් සිරුරට මුදා හැරෙනවා. චර්ම ස්ථරවල තැම්පත් වෙලා තියෙන මේද පටක හකුලුවන්න මේ කම්පන තරංගයට පුළුවන්.

ඊටපස්සේ Ultrasound උපකරණයත් විනාඩි කිහිපයක් සිරුරට අල්වාගෙන ඉන්නවා. ඒකෙන් කරන්නේ Ultrasound තරංගය භාවිත කරලා මේද සෛල විනාශ කරන එකයි.

ගර්භනී මව්වරුන්ට හැර අවුරුදු 25න් ඉහළ ඕනෑම කෙනෙක්ට මේ සත්කාරය කරගන්න පුළුවන්. දවසක් ඇර දවසක් සත්කාර වාර 16ක් කරගන්න ඕනේ. සත්කාරයෙන් පස්සේ සුන්දර සිහින් සිරුරක් කියන එක තවදුරටත් සිහිනයක් නොවෙයි කියන එක සියැසින්ම බලාගන්න පුළුවන්.’’

සත්කාරයෙන් පසුව සම රතු පැහැගැන්වීමට ඉඩ ඇති අතර පැයක වැනි කෙටි කාලයකින් එම ස්වභාවය පහව යන බැවින් ඒ පිළිබඳව භීතියක් ඇති කරගත යුතු නැත. සත්කාරයට පෙර සහ පසු අනුගමනය කළ යුතු උපදේශන මාලාවක් රූපලාවනය ශිල්පියා විසින් ලබාදෙන අතර ඒවා නිසි පරිදි අනුගමනය කිරීම වැදගත් බවත් සටහන් කළ යුතුය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි