විශේෂාංග

නැන්දම්මාට ලෝජිනී නැතුවම බැරි වෙයි

‘‘අම්මා එක්ක රහසින් කුටු කුටු ගාමින් හිටපු රූබන් ටික වෙලාවකින් මගේ ළඟට ආවා. හිනාවෙලා සතුටෙන් වගේ කතා කළාට මට ​​තේරුණා එයාගෙ මූණෙ තියෙන්නෙ මවාගත්ත සතුටක් කියලා. මොකද අම්මගෙ ගැටළුවට සම්පූර්ණ විසඳුමක් ලැබිලා තිබුණෙ නැහැ. තාවකාලික විසඳුමක් පමණක් ලබාගෙන තිබුණා.’’

‘‘ෂිවා (ලෝජිනීගේ ව්‍යාජ හැඳුනුම්පතේ නම) ඔයා මොනවත් වැරදියට හිතන්න එපා හදිසියේම ආපු නිසා අපේ අම්මට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා. දැන් ඒක විසඳුනා. ඔයා අම්මත් එක්ක මේ කාමරේ ඉන්න.’’

නිවසටම තිබුණ කාමර දෙකෙන් එකක් පෙන්නා රූබන් කීවේය. රූබන් එලෙස කියනවිට ලෝජිනීට ඉබේම වටපිට බැලිනි. කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිව සිටින ලෝජිනී දෙස බැලූ රූබන්ට කාරණාව වැටහිණි.

‘‘ආ ඔයාට ඇඳුම් මොනවත් නැහැනෙ. හවසට නැවතිලා හිටපු ගෙදරට ගිහිල්ලා අරගෙන එමු. එහෙම නැත්නම් අලුතෙන් ගමු.’’

රූබන් කීවේය.

කෙසේ නමුත් පැය කීපයක් ඇතුළත සිය ත්‍රීරෝද රථයට ලෝජිනීව නංවාගත් රූබන් ලෝජිනීගේ නවාතැන්පළ කරා ගියේය.

‘‘ටවුන් එක ළඟම නවාතැන්පළක් හමුවුණා. මම එහෙට නවතින්න යනවා’’ යැයි සිය නවාතැනේ නිවැසියන්ට පැවසූ ලෝජිනී සිය ඇඳුම් පැළඳුම්ද රැගෙන පැමිණියාය. නවාතැන්පළේ හිමිකරුවන්ද වැඩි ප්‍රශ්න කිරීම් නොකර ලෝජිනීට පිටත්ව යාමට අවස්ථාව සලසා දුන්නේ ඔවුන්​ගේ බලාපොරොත්තුවද එයම වූ නිසාය. ඒ මක්නිසාදයත් ඒ වනවිට ලෝජිනීගේ හැසිරීම නිවැසියන්ට ගැටළුවක් වී තිබිණි. නිවැසියන්ගෙන් සමුගත් ලෝජිනී රූබන් සමඟ අලුත් නවාතැන එනම් රූබන්ගේ නිවසට පැමිණියාය.

දෙවනවර නිවසට පැමිණෙන විටද රූබන්ගේ මවගේ තත්ත්වයේ වෙනසක් නොවිනි. නමුත් ඇයද ආරූඪ කරගත් සිනහවක් ලෝජිනී වෙත පෑවාය.

‘‘වළට වැටුණ කෙනා වළෙන්ම ගොඩ එන්න ඕන. වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මම තීරණය කළා රූබන්ගේ අම්මා එක්ක ඉඳලා එයාට ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙන්න.’’ ලෝජිනී කියන්නීය.

එදින රාත්‍රිය වනවිට රූබන්ගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමට හැකි විය. රූබන්ගේ උපන් ගම යාපනයයි. රූබන්ට සාමාන්‍ය දැනුම් තේරුම් එන වයස වනවිට පියා මිය ගියේය. ඒ සමඟ වැඩිමල් සහෝදරයා, රූබන්, මව සමඟ තනිවිය. 90 දශකය වනවිට යාපනයේ ජන ජීවිතයද දුෂ්කර වී තිබිණි. ඒ නිසා ඔවුහු වව්නියාවේ පදිංචියට පැමිණියෝය. ඔවුහු වව්නියාවේ කුලී නිවෙස් ගත්හ. වගා කිරීමට සුදුසු බිමක් සහිතව තිබෙන කුලී නිවාස තෝරාගෙන එහි වගා කටයුතුද කරන ලදි. එලෙස යාන්තමට ජීවිතය ගැට ගසා සිටින විට රූබන්ගේ වැඩිමල් සහෝදරයා අඩු වයසෙන්ම විවාහ වී වෙනම පදිංචියට ගියේය. රූබන් මව සමඟ තනිවිය. ඉහළ අධ්‍යාපනයක් නොලද රූබන් තරුණ වයසට එනවිටම ත්‍රීරෝද රැකියාව තෝරාගත්තේය. ඉන්පසු මව සමඟ නිවසේ සියලුම නඩත්තුව, වියදම් දරණ ලද්දේ රූබන්ය. ඒ නිසාම මව හා පුතු අතර දැඩි බැඳීමක් තිබිණි.

‘‘අම්මා රූබන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා වැඩි විස්තරයක් දන්නේ නැති ගෑනු ළමයෙක්ව විවාහ කරගෙන රූබන්ට කරදරයක් වේවි කියලා අම්මට බයක් ඇතිවීම සාධාරණයි.’’ ලෝජිනී කියන්නීය.

කෙසේ නමුත් රූබන්ගේ නිවසේ පදිංචි වී සිය ජීවිතය ඉදිරියට රැගෙනයාමේ ගමන ලෝජිනී ආරම්භ කළාය. එහිදී කොටි සංවිධානයේ සටන්කාමිනියක ලෙස මරාගෙන මැරෙන පුහුණුවේදී සාමාන්‍ය ජනතාව සමඟ සබඳතා ගොඩනගාගන්නා ආකාරය පිළිබඳව ලැබුණු පුහුණුව බොහෝ ප්‍රයෝජනවත් විය. එනිසා කිසිඳු කම්මැලිකමක් නොතිබුණ ලෝජිනී නිවසේ ඉවුම් පිහුම් මෙන්ම වගා කටයුතුවලටද උදව් කළාය. කෙටියෙන්ම කිවහොත් ‘තැනේ හැටියට ඇණේ ගැසීමේ’ ක්‍රමය හොඳින්ම අනුගමනය කළාය. ඒ නිසාම දින කීපයක් ගත වනවිට රූබන්ගේ මවට ලෝජිනී කෙරෙහි පැහැදීමක් ඇති විය. එලෙස පැහැදීමක් ඇති වීමට බලපෑ තවත් හේතුවක්ද විය. එනම් ප්‍රංශයේ වෙසෙන ලෝජිනීගේ සහෝදරයාය. සැබැවින්ම ඒ වනවිට ලෝජිනී සහ ඇගේ සහෝදරයා අතර කිසිඳු සම්බන්ධයක් නොවිනි. නමුත් රූබන්ගේ මව සිතා සිටියේ දෙදෙනා අතර සම්බන්ධය තිබෙන බවත්, ඉදිරි කාලයේදී ලෝජිනීව ප්‍රංශයේ පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති බවත්ය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. ඕනෑම පවුලක නම්බුකාර බව, වැදගත්කම මනින මිම්ම උතුරේ හා දකුණට වෙනස්ය. දකුණේ පවුලක වැදගත්කම මනින ප්‍රධාන සාධක අතර මුදල්වලට අමතරව එම පවුලේ සාමාජිකයන් විසින් කරනු ලබන රැකියාවන්ද වේ. වෛද්‍ය, නීතීඥ, ඉංජිනේරු වැනි රැකියා කරන සාමාජිකයන් සිටී නම් වැඩි පිළිගැනීමක් ලැබේ. නමුත් උතුරේ මේ තත්ත්වය වෙනස්ය. විවාහ කටයුත්තකදී වෙනත් වැදගත් කාර්යයකදී මුදල්වලට අමතරව සොයා බලන ප්‍රධාන සාධකය වන්නේ පවුලේ සාමාජිකයෙකු හෝ කීපදෙනෙකු යුරෝපය හෝ ඇමරිකාව, කැනඩාව වැනි සංවර්ධිත රටක පදිංචිව සිටින්නේ ද යන්නයි. මීට හේතුව බහුතර සිංහල ජනාතවගේ පෞද්ගලික අදහස ශ්‍රී ලංකාව තම මව්බිම බවත් සිය අවසන් හුස්ම හෙලන්නේද මාතෘ භූමිය තුළදීම බවත්ය. නමුත් බහුතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ පොදු මතය තම උපන්බිම ශ්‍රී ලංකාව වුවද තම අවසන් හුස්ම ශ්‍රී ලංකාව තුළදීම හෙලිය යුතුය යන්න නොවේ. ඒ නිසාම බොහෝදෙනාගේ අදහස වන්නේ සංවර්ධිත රටක පදිංචියට ගොස් දේශපාලන රැකවරණ පතා එහි පුරවැසිභාවය ලබාගැනීමයි. පුරවැසිභාවය ලබාදීම සඳහා වසර 5-10 වැනි කාලයක් ලංකාවට නොපැමිණ එම රටවලට වී සිටිති. පුරවැසිභාවය ලබාගැනීමෙන් පසු පවුලේ සාමාජිකයන් මෙන්ම ළඟම ඥාතීන්ද එම රටට ගෙන්වා ගනිති. ඉන් අනතුරුව එම පවුල දෙමළ ප්‍රජාව තුළ ප්‍රභූ පවුලක් බවට පත්වේ. එම තත්ත්වය මත ලෝජිනීගේ සහෝදරයා ප්‍රංශයේ සිටින බැවින් ඔහු මාර්ගයෙන් රූබන් හා තමන්ටද ප්‍රංශයේ පදිංචිය සඳහා යෑමට අවස්ථා සැලසෙනු ඇතැයි රූබන්ගේ මවගේ යටිසිත කියන්නට ඇත. මේ සියලු කරුණු කාරණා මත සති දෙකක පමණ කාලයක් ගත වනවිට ලෝජනීද රූබන්ගේ පවුලේම සාමාජිකාවක බවට පත්ව සිටියාය.

‘‘ටික දවසක් යනකොට රූබන්ගේ අම්මට මාව නැතුවම බැරි වුණා. ගෙදර වැඩත් අපි දෙන්නම එකට වගේම බෙදාගෙනත් කළා. ඔහොම යද්දි දෙන්නා ඔහොම ඉඳලා හරියන්නේ නැහැනෙ. විවාහ වෙලා ඉක්මනින්ම පිළිවෙලක් වුණා නම් හොඳයි නේද?’ කියලා කීවා.’’

සිය අනාගත නැන්දනියගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ලෝජිනී අදහස් දැක්වූවාය.

මේ අතර 2009 ජනවාරි මාසයේ අන්තිම දිනයක පැමිණි රූබන්,

‘‘ෂිවා ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා’’ යැයිද කීවේය.

‘‘ඒ පාර මොකක්ද වැදගත් පණිවිඩය?’’

ලෝජිනී ඇසුවාය.