නවතම ප්‍රවෘත්ති

අම්මා තාත්තා බලන්න ලංකාවට එන්න ඕන වුණත් කොවිඩ් ඒකට ඉඩ දෙන්නේ නෑ

මගේ අශ්වයා පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්නුවා ඔහුගේ විශ්මයජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රහණයක්.”

පරාජය හමුවේ වුවත් පරාජය නොවිය යුතු බව ඈ පැවසූයේ මෙවර ඔලිම්පික් උළෙලේ ප්‍රදර්ශනාත්මක අශ්වාරෝහක ධාවන තරඟ ඉසව්ව අවසානයේදීය.

ශ්‍රී ලාංකික මව්පිය යුවළකට දාව උපත ලද ඇය ස්වීඩන් ජාතික යුවළකගේ භාරකාරත්වයට පත්ව ඇත්තේ ඇය තෙමස් බිළිඳියක්ව සිටියදීය. ස්වීඩනය වෙනුවෙන් තරඟ බිමට පිවිසීමට හැකියාව තිබුණද ඇය ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට පිවිසියේ ලක්මව පිළිබඳව ඈ තුළ වූ සොඳුරු හැඟීම් නිසාමය.

ශ්‍රී ලාංකික ධජය යටතේ මෙම තරඟ ඉසව්ව නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීම ඇයගේ අනෙකුත් සුවිශේෂීත්වයයි.

සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් තරඟ වැදුනු ඇයගේ බලාපොරොත්තු අවසාන මොහොතේ බිඳ වැටුණද මේ වනවිටත් ඇය අප සියලුදෙනාගේම හදවත් දිනා අවසානය. අද ධරණී කවරය හැඩවන්නේ මැතිල්ඩා කාර්ල්සන් නම් ඇගේ රුවිනි.

මැතිල්ඩාට ළමා කාලය ගැන තියෙන මතකය මොන වගේද?

ඇත්තටම මට තිබුණේ හරි අපූරු ළමා කාලයක් කිව්වොත් හරි. ඒ කාලෙත් හැම සතිඅන්තයකම වගේ ඉස්තාලවලට ගිහිල්ලා අනිත් අසරුවන්ගේ අවශ්වයන්ට සාත්තු කරන්න, ඒ වගේම ඔවුන්ව බලාකියාගන්න එහෙම මම උදව් කළා.

 

අශ්වයින් පැදීමට යොමු වෙන්නේ කොයි කාලෙදිද?

මම මුලින්ම අශ්වයෙක් පදින්න ඉගෙනගත්තේ ගේ ගාව තියෙන අශ්වාරෝහක පාසලකින්. එතකොට මට අවුරුදු අටයි.

 

මේ ක්‍රීඩාව කාන්තාවකට තරමක් අභියෝගකාරී ක්‍රීඩාවක්. මැතිල්ඩා මෙය වෘත්තීයක් විදිහට තෝරගන්න හිතුවේ ඇයි?

මම හිතන්නේ කාන්තාවක් වීම කියන එක මේ වෘත්තියට අභියෝගයකට වඩා වරප්‍රසාදයක්. කාන්තාවකට පිරිමි අශ්වාරෝහකයෙක්ට තරම්ම ශරීර ශක්තියක් නැහැ තමයි. ඒත් තමන්ට තමන්ගේ අශ්වයා ගැන හොඳ දැනුමක් තියෙනවා නම් ඒ වගේම ඔහු එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගාගන්න පුළුවන් නම් ජයග්‍රහණය කරා යන්න ශරීර ශක්තිය අත්‍යවශ්‍යම නැහැ.

 

පවුලේ විස්තර ගැනත් කියමු. මවගෙන්, පියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තම කිව්වොත් මගෙ අම්මයි තාත්තයි නම් අශ්වයින්ට ඒ තරම් කැමති අය නෙවෙයි. හැබැයි ඔවුන් මට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ නිසා පුළුවන් හැම විදිහකින්ම හැමවෙලාවෙම වගේ ඔවුන් මට ලොකු සහයක් දක්වනවා.

 

ස්වීඩනයේදී මැතිල්ඩට විද්‍යාව විෂයත්, අසුන් පැදවීමේ විෂයත් එකවර හදාරන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්, ස්වීඩනයේදී මට ඔය විෂයන් දෙකම එකවර හදාරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක් වුණා. ඒත් ඉගෙනගන්න කාලය අතුරතුරත් ඉස්තාලයේ ගත කරන්න අවස්ථාව ලැබෙන නිසා මම ඒ අභියෝගය භාරගත්තේ හරිම ආසාවෙන්.

 

පස්සේ ඔබ ජර්මනියට ගිහින් අසුන් පැදවීම ගැන තවදුරටත් හදාරනවා. අත්දැකීම මොන වගේද?

ඒක නම් හරි පුදුමාකාර අත්දැකීමක්. ස්වීඩන් ජාතික රොල්ෆ් ගොරාන් බෙන්ට්සන් (Rolf Goran Bengtsson) තමයි ඔය කාලේ ලෝකේ අංක එකටම හිටපු අශ්වාරෝහකයා. ඔහු යටතේ අශ්වයින් පැදීම ඉගෙනගන්න මටත් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව මගේ මුළු ජීවිතයම වෙනස් කළා කිව්වොත් හරි. මම දිගටම අශ්වයින් එක්කම වැඩ කරයි කියන එක වුණත් මට ජර්මනියෙදිම දැනුණා.

 

අසුන් පදින විට  අනතුරු එහෙම වෙලා නැද්ද?

අපෝ නැහැ. ඒ අතින් නම් මම හරිම වාසනාවන්තයි.

 

මැතිල්ඩා  ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගන්නේ තරමක් මෑතකදී. සඳහා බලපෑ විශේෂ හේතුවක් තියෙනවද?

ඇත්තටම ඒක මම මගේ ජීවිතයේදී ගත්ත ලොකු තීරණයක්. පළවෙනි වතාවට මම ශ්‍රී ලංකාවට ආවට පස්සේ මේක මම ඉපදුණ රට නේද කියන හැඟීම මට හොඳින්ම දැනුණා. ඒ වගේම මේ රට ගැනත් මෙහෙදි මට මුණගැහුණු පුදුමාකාර මිනිස්සු ගැනත් මගේ හිතේ ආදරයක් ඇතිවුණා.

 

මැතිල්ඩා ලංකාව ගැන, ලංකාවේ මිනිස්සු ගැන මොකද හිතන්නේ?

මේ වගේ කෘතවේදී, මිත්‍රශීලී, ඒ වගේම ප්‍රීතිමත් මිනිස්සු මගේ ජීවිත කාලය තුළදී මට මුණගැහිලා තිබුණේ නැහැ. ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ මේ අපූරු ගතිගුණ නම් මුළු ලෝකෙටම ආදර්ශයක්.

 

මෙහෙ ඉන්න අම්මා තාත්තා දෙන්නා බලන්න මැතිල්ඩට ළඟදි ලංකාවට එන්න එහෙම අදහසක් නැද්ද?

එහෙම අදහසක් තියනවා. මාධ්‍ය සාකච්ඡා කිහිපයක් වෙනුවෙන් ලබන දෙසැම්බර් මාසෙදි ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ මාධ්‍ය සංචාරයේදීම සතියක විතර පෞද්ගලික සංචාරයක නිරත වෙන්නත් හිතාගෙන ඉන්නවා. ඒත් ඉතින් මේ කොවිඩ් තත්ත්වය නිසා ලංකාවට එන්න ඉඩ ලැබෙයිද කියන එක හරියටම කියන්න බැහැ.

 

මැතිල්ඩා අවුරුදු ගණනාවක් ක්‍රීඩා කළේ ස්වීඩනය වෙනුවෙන්. ඔලිම්පික් වැනි සුවිශේෂී තරඟයකදී ලංකාව නියෝජනය කරන්න හිතුවේ ඇයි?

පාපන්දුවලට පස්සේ ප්‍රදර්ශනාත්මක අශ්වාරෝහක ධාවන තරඟය තමයි ස්වීඩනයේ ජනප්‍රියතම ක්‍රීඩාව. ඉතින් දක්ෂ අශ්වාරෝහකයෝ වගේම හොඳ අශ්වයොත් ඕන තරම් එහෙට ඉන්නවා. ඒත් ලංකාව මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට මේ තරඟ අංශය නියෝජනය කරලා තිබුණේ නැහැ. ඉතින් ලංකාව වෙනුවෙන් ඒ වගේ තරඟ ඉසව්වකට ඉදිරිපත් වෙන එක වඩා හොඳයි කියලා මට හිතුණා.

 

මේ ශ්‍රී ලාංකිකයෙක් ඔලිම්පික් තරඟාවලියකට අසුන් පැන්නවීමේ ඉසව්වෙන් සහභාගී වුණු ප්‍රථම අවස්ථාවනේ. ඉතින් ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

ඔව්, මේ ඉසව්වෙන් ලංකාව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා මම වෙන්න පුළුවන්. හැබැයි ඔලිම්පික් ඉතිසාහයේ මේ ඉසව්ව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා මම වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අශ්වයින් ගැනත්, මේ ක්‍රීඩාව ගැනත් ශ්‍රී ලාංකිකයින්ගේ හිතේ කැමැත්තක් ඇති කරන්න ඒ වගේම ඔවුන්ට මේ ක්‍රීඩාව සඳහා යොමුවෙන්න දිරිමත් කරන්නත් මේක මට අවස්ථාවක් වුණා කියලා මම හිතනවා.

 

මේ සදහා ඔබ සුදුසුකම් ලැබුවා කියලා දැනගත්තම ඒක දැනුණේ කොහොමද?

ඇත්තටම ඒක නම් මට අදහාගන්නත් අමාරු වුණා. ලොකු අභිමානයක් එක්කම ලොකු සතුටකුත් ඒ මොහොතේ මට දැනුණා.

 

ලංකාවේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුළු මහත් ජාතියක්ම මට අදහගන්නවත් බැරිතරමේ සහයෝගයක් ලබාදුන්නා. ඇත්තම කිව්වොත් ඒ සහයෝගයට ස්තූති කරන්න නම් මට වචන මදි.

 

ඔබත් සමඟ ඔලිම්පික් තරගයට සහභාගී වන අශ්වයාගේ නම chopin va’ ඔහුගේ විශේෂත්වය මොකක්ද?

ප්‍රබල ජවයක් වගේම හොඳ වේගයකුත් චොපින්ට තියෙනවා. හැබැයි ඉතාම හොඳ මානසිකත්වයක් තියෙන එක තමයි චොපින්ගේ හොඳම ගුණාංගය. හැම වෙලාවෙම හරියට ක්‍රීඩා කරන්න තමයි එයාට ඕනේ. ඇත්තටම චොපින් හරිම කාරුණික අශ්වයෙක්. එයා එක්ක ඉන්න හැමෝවම සතුටු කරන්න එයා හරි කැමතියි. ඉතින් හරියටම බැලුවොත් ඔහු තමයි මේ තරඟයේ නියම ක්‍රීඩකයා.

 

මේ වැඩ කටයුතුවලට අමතරව කරන අනිත් වැඩ මොනවද?

මම විලාසිතාවලට කැමති කෙනෙක්. ඉතින් මං වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන වෙළෙඳ සන්නාමවල ඡායාරූපවලට ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලටත් මම පෙනී ඉන්නවා. ඒ වගේම කවදකම හරි චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන්නත් බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. සමහරවිට ඒ මගේ සුවිශේෂ ජීවිත කතාව කියන්න වෙන්නත් පුළුවන්.

 

පෞද්ගලික ජීවිතයත් ක්‍රීඩා කටයුතුත් කළමනාකරණය කරගන්නේ කොහොමද?

මම නිතරම සංචාරවල නිතර වෙන නිසා ඒක නම් හරිම අමාරු වැඩක්. ඒත් දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න මට මේ හැමදේකටම හොඳ සහයෝගයක් ලබාදෙන පෙම්වතෙක් ඉන්නවා.

 

අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?

2020දී මම ලෝක ශූරතා තරඟයට වගේම ආසියානු ක්‍රීඩා තරඟයටත් සහභාගී වෙනවා. ඉතින් ලබන අවුරුද්ද මට හරිම වැදගත් වසරක් වේවි.

චොපින්ට මේ තරඟ දෙකටම තරඟ කරන්න බැහැනේ. අවාසනාවකට වගේ ඔහුට තරඟ කරන්න පුළුවන් ලෝක ශූරතාවලි තරඟයට විතරයි. ඉතින් ආසියානු තරඟයට ක්‍රීඩා කරන අශ්වයා රැකබලාගන්න අනුග්‍රාහකයින් සොයා ගන්නත් මට මහන්සි වෙන්න සිද්ධ වෙනවා.

2024දී පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන තරඟය 2023දී පැවැත්වෙනවා. ඉතින් ඒ තරඟයට හොඳින් පුහුණු වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.

 

මැතිල්ඩට මේ හැමදේකටම සහාය දෙන පිරිස ගැනත් මතක් කරමු?

ඇත්තම කිව්වොත් තරඟයට හරියනම අශ්වයා වගේම මගේ ජයග්‍රහණ වෙනුවෙන් මට ශක්තියක් වෙන සහාය කණ්ඩායමක් හොයාගන්න මම අවුරුදු ගාණක් වෙහෙසුණා. ක්‍රීඩාවේදී හැමෝම දකින්නේ මාවයි, චොපින්වයි විතරනේ. ඒත් හරි අපූරු සහාය කණ්ඩායමක් අපි දෙන්නා පිටිපස්සේ හැමවෙලේම ඉන්නවා. එයාලා නැත්නම් මට මේ කිසිදෙයක් කරගන්න බැරිවෙයි.

 

අවසාන වශයෙන් ලංකාවේ තරුණ පරපුරට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?

කවමදාකවත් උත්සාහය අතඅරින්න එපා. ඒ වගේම ලොකුවට සිහින දකින්න බය වෙන්නත් එපා. සිහින දකින්න අපි එන්නේ කොහේ ඉඳලද කියන එක වැදගත් නැහැ. කොහේ ඉඳලා ආවත් ඔබේ ජීවිතය ඔබ සතුයි. ඉතින් ඒ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම කියන්නේ.

 

සටහන සෙව්වන්දි හෙට්ටිආරච්චි

පරිවර්තනය සාරා හනාන්