නවතම ප්‍රවෘත්ති

කරාතේ කියන්නේ ක්‍රීඩාවකට එහා ගිය භාවනාවක්

කරාතේ සටන් කලාව මට ප්‍රයෝජනවත් වුණු වෙලාවල් ඕනතරම්. එකපාරක් මගේ ඉස්සරහ හිටපු මනුස්සයෙක්ගේ මුදල් පසුම්බිය කෙනෙක් උදුරගෙන දුවන්න හැදුවා. ඒ වෙලාවේ මම දන්න ශිල්ප පාවිච්චි කරලා ඔහුගේ මුදල් පසුම්බිය බේරලා දුන්නා. එතකොට තව දවසක් මගේ මාලේ කඩාගන්න ආව පුද්ගලයෙකුටත් පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරලා මාලේ බේරගත්තා.

ඇත්තටම අද අපි ජීවත් වෙන්නේ ගෑනු ළමයෙක්ට තනියම පාරක තොටක බැහැලා යන්න බැරි සමාජයකනේ. ඉතින් හැම ගැහැනු ළමයෙක්ම මොකක්ම හරි සටන් කලාවක් ප්‍රගුණ කරන්නම ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ

දැඩි ජවයකින් යුතුව එසේ පවසන්නී ජාතික කරාතේ විනිසුරුවරියක සහ උපදේශිකාවක වන ශිරෝමා ෆොන්සේකාය.

හයවන ශ්‍රේණියේ කලුපටිදාරිනියක වන ඇය ජාත්‍යන්තර අනුබද්ධතාවය සහිත කරාතේ පාසලක ප්‍රධාන උපදේශකවරියකි.

එසේම ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ ප්‍රධාන උපදේශක තනතුර දරණ ප්‍රථම කාන්තාවද ඇයයි.

අද ‘ධරණී’ කවරය දරා සිටින මේ ජව සම්පන්න සටන් ශිල්පිනිය ශිරෝමා ෆොන්සේකාය.

මීගමුව, කොච්චිකඩේ පදිංචි ශිරෝමා, කරාතේ සටන් කලාවට යොමු වී ඇත්තේ කුඩා වියේදීමය.

මම පොඩි කාලේ ඉලම ක්‍රීඩාවට ආදරය කළ කෙනෙක්. මට මතක ඇති කාලේ ඉලම මම නොයෙක් නොයෙක් ක්‍රීඩාවල නිරත වුණා. අවුරුදු දොළහක් වෙනකොට මම කරාතේ හදාරන්න පටන්ගත්තා. නියෝන් කරාතේ දෝ කෙන්සෙයි කාන් කරාතේ පාසලේ ශිහාන් වින්සන් ප්‍රනාන්දු තමයි මගේ කරාතේ ගුරුතුමා.

කරාතේ ක්‍රීඩාවේ අංශ කිහිපයක්ම තිබෙන අතර ශිරෝමා ඒ සෑම අංශයක්ම මනාව ප්‍රගුණ කළ සටන් ශිල්පිනියකි. දක්ෂතාවය නිසාම සුවිශේෂී ජයග්‍රහණ බොහෝමයක් ලබාගෙන ඇති ඇය ඒ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳවත් මෙසේ සිහිපත් කළාය.

අපේ රටෙන් පළවෙනි වතාවට සාර්ක් ක්‍රීඩා උළෙලට කරාතේ කණ්ඩායමක් සහභාගී වුණේ 1990 වසරේදීයි. ඉතින් ඒ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. එතැනදි 55 බර පංතිය යටතේ කුම්තේ අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනාගන්න මට පුළුවන් වුණා. ඊට අමතරව 2006 දී ‘uko’ ශූරතා තරාවලියෙන් රන් සහ රිදී පදක්කම් දෙකක් දිනාගත්තා. ඒ තරයට රටවල් දහඅටකින් තරකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. ඒ වගේම ආසියාතික කරාතේ තරවලදිත් ජයග්‍රහණ රාශියක්ම දිනාගන්න මට පුළුවන් වුණා.

ඒ ඇය ලබාගත් සුවිශේෂීම ජයග්‍රහණ කිහිපයකි. ඈ ලබාගත් සියලුම ජයග්‍රහණ පිළිබඳව සටහන් කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නොවන්නේය. නමුත් මේ දිරිය ක්‍රීඩිකාව කිහිපවරක්ම ශ්‍රී ලංකාවේ ජාතික කරාතේ ශූරිය බවට පත්ව ඇති බවත් කිව යුතුමය.

පස්සේ කාලයත් එක්ක මම දරුවන්ට කරාතේ උගන්වන්න පටන්ගත්තා. ඇත්තම කිව්වොත් මුළු ලංකාවටම ඉන්නේ කරාතේ කාන්තා උපදේශකවරියන් කිහිපදෙනෙක් විතරයි. ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයට කාන්තා නියෝජනයට අවස්ථාව නොලැබෙන්නේත් ඒ නිසයි. ඒත් මගේ සුදුසුකම් නිසා මම එහි ප්‍රධාන උපදේශිකාව විදිහට පත්වුණා. දැන් වසර දහයක් පමණ මම එයට මගේ සේවය ලබාදෙනවා.

මේ වනවිටත් ඇය ලංකාවේ පළාත් කිහිපයක් ආවරණය වන පරිදි දරුවන්ට කරාතේ සටන් කලාව උගන්වන්නීය.

ගැහැනු පිරිමි කියලා භේදයකින් තොරව බොහෝදෙනා මේ ක්‍රීඩාව ඉගෙනගන්නවා. ගොඩක් ගැහැනු දරුවන්, කරාතේ සටන් කලාව ප්‍රගුණ කරන්නේ ක්‍රීඩාවක් විදිහටම නෙවෙයි. මේ තුළින් හොඳ ආත්මආරක්ෂාවක් සලසගන්න එක තමයි ඔවුන්ගේ ප්‍රධානම අරමුණ.”

ආත්මආරක්ෂාව සලසා ගැනීමට අමතරව විනය, හික්මීම, මානසික ඒකාග්‍රතාවය යහමින් පවත්වා ගැනීමට කරාතේ ක්‍රීඩාව මහා පිටුවහලක් වන බව ඕ කියන්නීය.

මම විවිධ තාඩන, පීඩන, කඩාවැටීම් මැද ජීවත් වුණු කාන්තාවක්. නමුත් කරාතේ ක්‍රීඩාව නිසා මගේ මනස ශක්තිමත් වුණා. ඇත්තටම මේක නිකන්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. හිත නිවන මනෝමය භාවනාවක් වගේ දෙයක් කිව්වොත් හරි. වර්තමාන සමාජයේ ජීවත්වෙන්නෙ අම්මා, තාත්තා වරදක් දොසක් පෙන්නුවත් සියදිවි නසාගන්න දරුවන්. ඒ වගේ දරුවන්ගේ මනාසික ශක්තිය වැඩි කරන්න හොඳම ක්‍රමයක් තමයි මේ කරාතේ සටන් කලාව.”

එසේම අනිසි ඇබ්බැහිවීම්වලින් තරුණ පරපුර මුදාගැනීමට හොඳම මාර්ගය කුඩාකල සිටම දරුවන්ව මෙවැනි සටන් කලා ශිල්පයක් වෙත යොමු කිරීම බව ඈ කියන්නීය.

කරාතේ ක්‍රීඩාව නිසා මනස විතරක් නෙමෙයි කායික ශක්තියත් නිරායාසයෙන්ම වැඩිවෙනවා. ඉතින් ඒ නිසා කරාතේ කරන අපි බර පාලනය කරගන්න එහෙම නැත්නම් ඇඟ ශක්තිමත් කරගන්න කවදාවත් කායවර්ධන මධ්‍යස්ථානවලට යන්නෙ නැහැ.”

ඈ කියන්නේ සටන් කලාවකදී ක්‍රීඩකයාගේ ශරීර ශක්තියටත් වඩා ඔහු සතු හැකියාව, බුද්ධිමත්භාවය සහ මානසික ශක්තිය වැදගත් බවය.

හිතන්නකෝ, යම් පුද්ගලයෙක් ගැහැනු දරුවෙකුගේ අතින් ඇල්ලුවා කියලා. ඒ පුද්ගලයාට අත අහකට ගන්න කියලා කියන්නත් ඇයට හොඳ ආත්මශක්තියක් තියෙන්න ඕනෙනේ. මේ ක්‍රීඩාවෙන් අන්න ඒ වගේ දේවල් පවා මැනවින් පුහුණු කරනවා.”

කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කරන ගැහැනු දරුවෙකුට යා හැකි උපරිම දුර කුමක්දැයි මා ඇයගෙන් ප්‍රශ්නයක් ඇහුවෙමි.

කලු පටි දහවන ශ්‍රේණියට ගියාට පස්සේ විනිසුරු තරඟ විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ විභාගය සමත් වුණාට පස්සේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ විනිසුරුවරියක් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට වෙනත් රටවල ජාත්‍යන්තර විනිසුරුවරියන් විදිහට කටයුතු කරන ශ්‍රි ලාංකික කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කරාතේ සටන් කලාව හොඳින් ප්‍රගුණ කළොත් ශ්‍රී ලංකා ජාතික කරාතේ කණ්ඩායමේ ජාත්‍යන්තර සහ ජාතික විනිසුරුවරුන් විදිහට කටයුතු කරන්නත් පුළුවන්.”

ඒ පැනයට ඈ පිළිතුරු ලබාදුන්නේ එසේය. එසේම හොඳින් කරාතේ ප්‍රගුණ කළ තැනැත්තියක් නිසා ඇයට සමාජයෙන් හොඳ ගෞරවයක් හිමිවන බවත් ඈ කියයි.

මේ සටන් කලාවෙන් මම කවදාවත් කාටවත් හිංසනයක් නම් කරලා නැහැ. හැබැයි කරාතේ ක්‍රීඩිකාවක් කියලා දන්න නිසාමද කොහෙද ගොඩක් අය අම්මෝමෙයා එක්ක නම් සෙල්ලම් නැහැ කියලා කියනවා. ඒ වගේම ගොඩක් අය මට ගෞරව කරනවා. ඒක නම් මට හොඳින්ම දැනිලා තියෙන දෙයක්…”

ශිරෝමාගේ සියලුම වැඩකටයුතු උදෙසා ඇයගේ මවගේ සහායත් ඇයට නිබඳවම හිමිවෙයි. හතළිස් අට වියැති ශිරෝමාට පුතෙකු වන අතර ඔහු ද කරාතේ කලු පටි දාරියෙකි.

“1990 ඉඳලා අද වෙනකනුත් සාර්ක් ක්‍රීඩා උළෙලින් පවා අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ කරාතේ රන් පදක්කම් හයක් විතරයි. ඉතින් අපි මෙතනින් එහාට යන්නම ඕනේ. අනිත් කාරණාව තමයි ආසියාවේ කිසිම රටක් මේ වෙනකල් කරාතේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරලා නැහැ. විකල්ප ක්‍රමයකින් හරි අපේ රටේ දරුවන් කිහිපදෙනෙක්වත් ඔලිම්පික් පරිසාධනීය මට්ටමට ගෙනියන එක තමයි දැන් මගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒ වෙනුවෙන් මම දිවා රෑ නොබලා වෙහෙසනවා…”

මේ වනවිට ජාත්‍යන්තර මිතුරු කරාතේ සම්මේලනයේ ආසියානු ප්‍රධාන ලේකම්වරිය ලෙස සහ ජාත්‍යන්තර සබඳතාකරවීමේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නේත් ශිරෝමාමය. කරාතේ ක්‍රීඩාව ඔලිම්පික් කරා ගෙන යන කරාතේ ක්‍රීඩකයන් නිර්මාණය කිරීම දැන් ඇගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවේවා යන්න ‘ධරණී’ අපේත් පැතුමයි.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප –  මදුසංක