Latest News

කාන්තාවන් පැවිද්ද ලැබූ උතුම් බිනර පොහෝ දිනය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.

අෂ්ට ගරු ධර්ම

01 උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

02 භික්ෂූන් නොමැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

03 අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතුයි.

04 වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

05 ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

06 අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

07 කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතු යි.

08 මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂුන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

එසේම වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙනවා .

මෙය භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.