දුව දූෂණය කළේ මම කියලා අලවපු ලේබලේ දැන්වත් ගලවන්න සේයා සදෙව්මිගේ පියා ඉල්ලයි
මීට වසර හයකට පමණ පෙර සේයා සදෙව්ම් නමැති සිව් හැවිරිදි පෙරපාසල් දැරියක් පැහැරගෙන ගොස් ලිංගිකව අපයෝජනය කර මරා දැමූ පුවත ඔබේ මතකයෙන් ගිලිහෙන්නට හේතුවක් නැති බවයි අපේ විශ්වාසය. 2015.09.11 වන දින අලුයමයි මේ අවසන්වන්ත සිදුවීම සිදුවුණේ.
මෙහි විත්තිකරු වූයේ කොටදෙණියාව, බඩල්ගම, ඉන්ගම්මාරුවේ පදිංචි ඉලන්දාරිපෙඩිගේ සමන් ජයලත් (කොණ්ඩයා නමැත්තාගේ අයියා) නමැති 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක්ය.
නමුත් සේයාගේ ඝාතනයට මුලින්ම සැකපිට අත්අඩංගුවට ගත්තේ ඇගේ පියා වන නිශාන් බක්මීදෙණියයි. ඔහු වෘත්තියෙන් පාසල් ගුරුවරයෙකි. වසර 6කට පෙර සිදු වූ මෙම අපරාධය නිසා අදටත් සමාජයෙන් නින්දා අපහාස ලබන්නේ ඔහුය. ඒ නීතියෙන් නොවුණත් සමාජය විසින් සේයාගේ මිනීමරුවා ලෙස ඔහු පිටට වරද පටවා ඇති නිසාය. ඒ අවනඩුව ගැන ඔහු ‘ධරණී’ට කියූ කතාවයි මේ.
——————-
නිශාන්ගේත්, සමන්තිගේත් නිවස පිහිටා තිබුණේ මීගමුව, කොටදෙණියාවේ, බඩල්ගම අකරන්ගහ වැලිපාරේය. මේ දෙදෙනාට දරු තිදෙනෙක් වූ අතර, මද්දුමී වූයේ සේයා ය. ඔවුන් පස්දෙනා හැරුණුකොට නිවසේ සිටියේ නිශාන්ගේ මව්පියන් දෙදෙනා වූ චන්ද්‍රාත්, දයාරත්නත් පමණි. නිශාන් වෘත්තියෙන් පාසල් ගුරුවරයෙකු වුවත් නිවස අසල ඇඟළුම් කර්මාන්තශාලාවක රියදුරෙකු ලෙස අමතර රැකියාවක්ද කළේය. ඒ තම දරුපවුල ජීවත් කරවීමට ඔහුට තිබූ උනන්දුව නිසාමය.
“සේයා කියන්නේ හරිම හුරතල්, දඟකාර දරුවෙක්. එයාගේ වැඩේම අයියා එක්ක සෙල්ලම් කරන එක. සෙල්ලම් කරද්දි සමහර වෙලාවට අයියා එක්ක රණ්ඩු වෙලා කාමරේට ගිහින් ඇතුළෙන් දොර ලොක් කරගන්නවා. කොයිවෙලාවක හරි මෙයා කාමරේ ඇතුළෙ හිරවෙයි කියලා මම කාමරේ එක ජනෙල් පියනක ග්‍රිල් එකකුත් ගලවලා දාලා තිබුණේ…”
ඔහුගේ වචන දිගේ ගලා ආවේ සේයා ජීවත්ව සිටි කෙටි කාලය තුළ ඉතිරි කර ගිය හුරතල් මතකයන්ය.
“මේ සිද්ධිය වෙච්ච දවසේ රෑ මට ගාමන්ට් එකේ හයර් දෙකක් යන්න තිබුණා. මං ගෙදරින් යද්දි සමන්තියි, ළමයි තුන්දෙනයි ටීවි බල බලා හිටියේ. අන්තිමට මං ඒ තුන් හතරදෙනාගෙම ඔලුවත් අතගාලා, සමන්තිට දොර ජනෙල් ටිකත් හොඳට වහගන්න කියලා තමයි ගියේ…”
ඔහු කියන්නේ අතීතය සිහිකරමිනි.
“මම ඕඩර් හයර් දෙක ගිහින් දාලා ගෙදර එනකොට ගාමන්ට් එකේ මහත්තයා මට ආපහු කෝල් කරලා කිව්වා රෑ වැඩ කරපු තවත් ගෑනු ළමයෙක් ඉන්නවා මිනුවන්ගොඩට ගිහින් දාලා එන්න කියලා. ඒ වෙලාවෙ මං හිටියේ ගෙදර පේන මානෙමයි. මං කිව්වා ටිකකට ගෙදරට ගිහින් ඉක්මනට එන්නම් කියලා. ඒත් එයාලට පරක්කුයි කියලා එවෙලෙම හරවගෙන එන්න කිව්වා. අන්තිමට මම ගේ පෙනි පෙනීම ආපහු හරවගෙන ගියා.”
කතාව අතරතුර ඔහුට වරින් වර වචන පැටලෙන්නේ වසර හයකට පසුවත් සේයාගේ මරණය නිසා ඔහු විඳින මානසික වේදනාව නිසා විය යුතුය.
“එදා මම මිනුවන්ගොඩ ගිහින් එද්දි රෑ 12.45 විතර වුණා. සමන්තිට කතා කරොත් ළමයිත් නින්දෙන් නැගිටින නිසා මම ළඟ තිබුණ අමතර යතුරෙන් දොර ඇරගෙන ගෙට ගියා. කාමරේට යද්දි සමන්තියි, පුතයි, පොඩි දුවයි එක ඇඳක නිදාගෙන හිටියා. ග්‍රිල් ගලවපු ජනෙල් පියන එහෙම පිටින්ම ඇරලා දාලා තිබුණා. සේයාත් කාමරේ හිටියේ නෑ. සේයා හවස ඇඳගෙන හිටපු කලිසම ඇඳ උඩ ගලවලා දාලා තිබුණා. මම හිතුවා අපේ අම්මගේ කාමරේට ගිහින් නිදි ඇති කියලා. ඒ වෙලාවෙ පාන්දර නිසා මං අම්මගෙ කාමරේට තට්ටු කරලා ඇහැරවන්න ගියෙත් නෑ. එහෙමම ඇඟපත හෝදගෙන නිදාගත්තා…”
සේයා නිවසේ නොමැති බව ඔවුන් දැනගන්නේ පසුදා උදෑසනය.
“ඒ වෙලාවෙ අපිට කියන්නෙ කරන්නෙ මොනවද කියලාවත් හිතාගන්න බැරි වුණා. සමන්ති කිව්වා රෑ ටීවි බලද්දි සේයාට පුටුවෙම නින්ද ගියා, ඊට පස්සේ වඩාගෙන ගෙනල්ලා ඇඳෙන් තිබ්බා කියලා. කොහොමහරි හොයන්න තියෙන හැමතැනකම හෙව්වත් දරුවව හම්බුණේ නෑ. ඊටපස්සෙ අපි කොටදෙණියාව පොලිසියට පැමිණිලි කළා.”
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය බුද්ධි අංශ සහ පොලිස් නිල සුනඛ අංශයේද සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, 2015.09.13වන දින සේයාගේ නිරුවත් මළසිරුර සොයාගැනීමට හැකි විය. ඒ නිවසට මීටර් 200ක් පමණ දුරින් පිහිටා ඇති ඕතෙර වෙල්යාය අසළ තිබීය. ඒ වනවිටත් ඇය ඇඳ සිටි කමිසයෙන් ගෙලද සිරකර තිබිණි. මළසිරුර ලැබුණද ඝාතකයා පිළිබඳව කිසිඳු හෝඩුවාවක් නම් ලැබී නොතිබිණි.
“සේයාගේ මරණෙට කිසිම කෙනෙක් අත්අඩංගුවට නොගෙන ඉන්නකොට ගමේ මිනිස්සු කෑගහන්න පටන්ගත්තා. මම රෑ හොරෙන් ගෙට ආවේ ළමයව අරන් යන්න කිව්වා. මාව අත්අඩංගුවට ගත්තෙ නැත්තම් ගල් ගහලා මරණවා, ගෙවල් ගිනි තියනවා කිව්වා. අන්තිමට සිද්ධියෙන් දවස් කීපෙකට පස්සෙ පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා…”
ඉන්පසු ඉදිරියට ගෙන ගිය පරීක්ෂණවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ අතර දුශේන් ක්‍රිශාන්ත නොහොත් ‘කොණ්ඩයා’ නමැත්තා සහ ඔහුගේ සහෝදරයා වූ සමන් ජයලත් නමැත්තාද විය. මෙම සැකකරුවන්ගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී සමන් ජයලත් නමැත්තා සේයාට අතවර කර මරා දැමුවේ තමන් බවට පිළිගෙන තිබුණි.
නිවසින් පිටත සැඟවී සිටි තමන්ගේ අරමුණ වූයේ සමන්තිව බිලිබාගැනීම වුවත්, ජනේලයෙන් නිවස තුළට ගිය පසු සේයා ගැන සිත් පහල වූ බව ඔහු කියා තිබුණේය. පසුව දැරිය රැගෙනයන අතරතුරදී නින්දෙන් අවදි වී ‘මාමේ මාව ගෙදර ගෙනියන්න’ කියා හැඬූ බවත්, ඒ මොහොතේ ඔහු දොල පාර ආසන්නයේදී ඇයව දූෂණය කර, ඇඳ සිටි ඇඳුමෙන් ගෙල සිර කර මරා දැමූ බවත් කියා සිටියේය.
“ඇත්තම කිව්වොත් මේ සැකකරුවෝ, විත්තිකරුවෝ හැමකෙනෙක්වම පොලිසියෙන් අරන් ගියේ මූණු වහලා. සමන් ජයලත්ව බන්ධනාගාරයට අරන් ගියෙත් මූණ වහලා. අදටත් මිනිස්සුන්ට කොණ්ඩයාගෙවත්, සමන් ජයලත් කියන අපරාධකාරයාගෙවත් මූණක්වත් මතක නෑ. ඒත් මාව හතරපාරක් හතරවෙනි තට්ටුවට අරන් ගිහින් ප්‍රශ්න කරද්දී, සේයාගේ තාත්තා කියලා මාධ්‍යවලින් ප්‍රසිද්ධ කළා. ගමේ මිනිස්සුන්ට, ඉස්කෝලෙ ළමයින්ට මතක මාව අත්අඩංගුවට ගත්ත එක විතරයි. ඊටපස්සෙ මාව නිදොස්කොට නිදහස් කළා කියලා මිනිස්සු දන්නෙ නෑ. පොලිසියෙනුයි, මාධ්‍යවලිනුයි මට ප්‍රසිද්ධියේ අලවපු ලේබලේ ප්‍රසිද්ධියේ ගලවලා දැම්මෙ නෑ. එදා ඉඳන් කිසිම දෙමව්පියෙක් මගේ ළඟට ළමයෙක්ව ඉගෙනගන්න එව්වෙ නෑ. සමහර ගුරුවරු අදටත් ප්‍රසිද්ධියේ අහනවා ‘ඇයි ඔයා තමන්ගෙම දුවට එහෙම කළේ’ කියලා… ඒ වෙලාවට මම අසරණ වෙනවා. මගේ ගුරු ජීවිතය එහෙම පිටින්ම නතර වුණා. ඊටපස්සෙ අනිත් දරුවෝ ජීවත් කරවන්න කුලී වැඩ පවා කළා. ඒත් දැන් කොරෝනා නිසා මං සූම්වලින් ඉංග්‍රීසි පන්ති ටිකක් කරලා පොඩි ගානක් හොයාගන්නවා. මං වගකිවයුතු ආයතනවලින්, නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ මට ඔබතුමාලා අතින් වුණ වරද නිවැරදි කරලා දෙන්න කියලා විතරයි…”
සැබෑය. වැරදි ලේබල් ඇලවෙන පමාවට ගැලවෙන්නේ නැත. සේයා අහිමි වුවද ඔහුට තවත් දරු දෙදෙනෙකු ජීවත් කරවීමට ඇත. මේ ඔහු ඒ වෙනුවෙන් කරන බැගෑපත් ඉල්ලීමක් පමණි.
ලිහිණි මධුෂිකා