බලෙන් තියාගෙන පවුල් කන්න ඇයි තමුසෙ ශාරුක් ඛාන් ද?
නිරූපා, පෞද්ගලික අංශයේ රැකියාවක නිරත අවුරුදු 28ක පමණ කාන්තාවකි. ඇයගේ සැමියා පැතුම් ද උසස් නිලයක් දරණා රාජ්‍ය සේවකයෙකි.
“අපි මේ ගමන ආවෙ අපේ අම්මලගේ බලකිරීමට මිසක අපි දෙන්නගේ උවමනාවකට නෙවෙයි. ඇත්තටම මේ වගේ ගෑනු කෙනෙක් එක්ක තවදුරටත් ජීවත් වෙන්න මගේ නම් කිසිම අදහසක් නැහැ.”
මුලින්ම කතාවට පිවිසි පැතුම් පැවසූයේ එවැන්නක්ය.
“ආහ්! ඇයි තමුසේ ශාරුක් ඛාන්ද? තමුසේ එක්ක පවුල් කන්න මටත් කිසි ආසාවක් නැහැ. මම බැඳලා ඉන්නේ මිනිහෙක්ව නෙවෙයි වඳුරෙක්ව. මේ වඳුරගෙන් දික්කසාද වෙන්න මමත් කැමතියි…”
පැතුම්ගේ කතාවට බාධා කරමින් නිරූපා ද ඇයගේ හඬ අවදි කළාය.
ප්රශ්නය ඇත්තේ කොතැනදැයි වටහාගැනීමට මට ඇයගේ ඒ කතාවම ප්‍රමාණවත් විය. නමුත් සංවාදය ඉදිරියට ගෙන යා යුතු නිසා ගැටළුව කුමක්දැයි මා ඔවුන්ගෙන් විමසා බැලුවෙමි.
“අපි බැඳලා තවම අවුරුද්දක්වත් නැහැ. ගෙදරින් තමයි මට මෙයාව හොයලා දුන්නේ. හැමවෙලේම කැතයි, කැතයි කිය කිය මෙයා මාව බාල්දු කරනවා. එයාට මාව පේන්නේ වඳුරෙක් වගේලු…”
නිරූපා පවසන අන්දමේ අස්වාභාවික, විරූපී පෙනුමක් පැතුම්ට තිබුණේ නැත. නිරූපා ද එතරම්ම රූබර යුවතියක් නොවූයෙන් ඔවුන් දෙදෙනාගේ සංයෝජනය කදිමට ගැළපෙන බව මට සිතුනි.
තත්ත්වය කෙසේ වුවත් මේ දෙදෙනා සමඟ තනි තනිව කතාබස්කොට තොරතුරු දැනගැනීම වඩා හොඳ බව වැටහුණු නිසා නිරූපාව කාර්යාල කාමරයෙන් පිටතට යැවූ මම පැතුම්ගෙන් ගැටළුව පිළිබඳ තවත් කරුණු කාරණා විමසා බැලුවෙමි.
“මෙයාගේ නෑදෑයන්ට ඇරෙන්න පිට කිසිම කෙනෙක්ට අද වෙනකල් මාව පෙන්නලා නැහැ. ඔෆිස් එකේ පාටියක් එහෙම නැත්නම් ට්‍රිප් එකක් ගියත් මාව එක්කරගෙන යන්නෙ නැහැ. මාව තැනකට එක්කරගෙන යන්න එයාට ලැජ්ජයිලු.”
පැතුම්ගේ පෙනුමේ අඩුපාඩු ඇති බව පවසමින් නිතර නිතර ඔහුව අවඥාවට ලක් කිරීමට නිරූපා කටයුතු කර තිබිණි.
“ඇත්තටම ඔය කියන තරම් මම කැතද? සල්ලි ටිකක් වියදම් කරලා මම පෙනුම වෙනස් කරගෙනවත් බලන්නද?”
නිරූපාගේ දෙපිට කැපෙන තියුණු කතා නිසා පැතුම් සිටින්නේ දැඩි පීඩනයක බව පැහැදිලිය. වෙනස් කරගැනීමට තරම් පැතුම්ගේ රූපයේ අඩුපාඩුවක් නොමැති බවත්, ගැටළුව ඇත්තේ නිරූපාගේ ආකල්ප තුළ බවත් මම ඔහුට පහදා දුන්නෙමි. එසේම ඇයගේ එම ආකල්ප මට වෙනස් කළ හැකි බවත් මම ඔහුට පැවසුවෙමි.
ඉන්පසු නිරූපාව කාර්යාල කාමරයට කැඳවූ මම ඇය සමඟ කතාවට වැටුණෙමි.
“කරකියාගන්නම දෙයක් නැතිකමට තමයි මම ඔය මනුස්සයව කසාද බැන්දේ. මම මෝඩ වුණා… බලන්න එයාගේ හැටි. මට එයා එක්ක පාරෙ යන්නත් ලැජ්ජයි.”
යමක් කමක් උගත් කාන්තාවක වන නිරූපාගේ මෙම හැසිරීම් රටාව සාමාන්‍ය නොවන බව කතාවේ මුල සිටම වැටහී තිබුණු නිසා ඇයගේ අතීත තොරතුරු පිළිබඳවත් හාරඅවුස්සා බැලීමට මම තීරණය කළෙමි.
විනාඩි කිහිපයක් ඇය සමඟ සුහදව කතාබස්කොට මින් පෙර නිරූපාට පෙම් සබඳතා තිබී නැතිදැයි මම ඇයගෙන් විමසා සිටියෙමි.
“අපෝ තිබුණා. මොකද නැත්තේ… මිස්ට කියන්න එයා තමයි මේ ලෝකේ මම දැකලා තියෙන ලස්සනම පිරිමියා…”
තමාගේ පැරණි පෙම්වතාගේ පෙනුමට සමාන පෙනුමක් ඇති ඉන්දියානු නළුවෙකු ද සිටිනා බව පවසමින් නිරූපා පැරණි පෙම්වතාගේ උජාරුව මා සමඟ විස්තර කළාය.
කතාවේදී පැහැදිලි වූයේ ඒ කියන කඩවසම් පෙම්වතා නිතර නිතර ඇගේ රූපය අවඥාවට ලක් කර ඇති බවය. එසේම ඔහුගේ මිතුරන් ඉදිරියේ පවා නිරූපාගේ රුවේ අඩුපාඩු ඇති බව පවසමින් ඇයව අපහසුතාවයට ලක් කිරීමට ඔහු කටයුතු කර තිබුණි.
“එයා ගොඩක් ලස්සන නිසා මං වගේ කැත ගෑනියෙක් එයාට ගැළපෙන්නේ නැහැ කියලා එයා නිතරම කිව්වා.”
සබඳතාවයෙන් වසර දෙකකට පමණ පසු ඔහු නිරූපාට වඩා සුන්දර තරුණියක සමඟ පෙම් සබඳතාවයක් ඇති කරගත් බව ඇය කීවේ කඳුළු සලමින්ය.
“මට ඕනෙ වුණේ එයාගෙන් පළිගන්න. ඒ නිසා එයා මාව දාලා ගිය ගමන් මම කසාද බඳින්න තීරණය කළා…”
පැරණි පෙම්වතාගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා හැකි ඉක්මනින් තමාට සහකරුවෙකු සොයාදෙන මෙන් නිරූපා ඇයගේ මාපියන්ට පවසා තිබුණේ ඉන්පසුවය.
“අම්මලා තමයි මට මෙයාව හොයලා දුන්නේ… මෙයා කොච්චර කැත වුණත් ඒ වෙලාවේ ඒක මට වැදගත් වුණේ නැහැ. එයාට පේන්න කාවහරි කසාද බඳින්න තමයි මටත් ඕන වුණේ.”
මංගල්‍යය යෝජනා වී මාසයක් ගතවීමටත් පෙර නිරූපාත් පැතුමුත් විවාහ දිවියට ඇතුළත් වී තිබිණි.
නිරූපාගේ මෙම හැසිරීම පිටුපස සැඟව ඇත්තේ ඇයගේ ඒ අතීත අත්දැකීම බව පැහැදිලිය.
එම අයහපත් මතක කෙමෙන් යටපත් කර පැතුම් සමඟ යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අඩිතාලම ඇයට සකසා දීමට මම කටයුතු කළෙමි.
ඇතැම් සිදුවීම් නිරූපාගේ යටිසිතට තදින් කාවැදී තිබුණු හෙයින් ඇයව යථා තත්ත්වයට පත්කිරීමට උපදේශන වාර කිහිපයක්ම ගතවූ අතර, ඒ කාලය තුළ නිරූපා පවසන අයුරින් අසාමාන්‍ය පෙනුමක් පැතුම්ට නොමැති බව ඇයට පැහැදිලි කිරීමටත් මම සමත් වුණෙමි.
යමෙකුගේ බාහිර පෙනුම අවඥාවට ලක් කිරීම ඔවුන්ට කොතරම් මානසිකව බලපාන්නේද යන කරුණ නිරූපාගේ මෙම කතාව තුළින් වටහාගත හැකිය.
නිරූපාට මෙම තත්ත්වය ඇතිව තිබුණේ ඇයට එල්ල වූ මානසික පීඩනය නිසාය. නමුත් එවැනි සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාගේ බිරිඳගේ බාහිර පෙනුම අවඥාවට ලක් කරනා අයවලුන් ඕනෑතරම් මගේ වෘත්තීය ජීවිතය තුළදී මට හමුවී ඇත.
තමාගේ සැමියාව, බිරිඳව චිත්‍රපට නළු නිළියන්, නිරූපිකාවන් සමඟ සංසන්දනය කර පවුල් ආරවුල් ඇති කරගත් උදවියද ඔය අතර ඇත.
රංගන ශිල්පීන්, ශිල්පිනියන් සුන්දරත්වය වැඩි කරගැනීම සඳහා තිරය ඉදිරියේදී අංග රචනයට සහ වෙනත් ප්‍රයෝග ක්‍රමවලට යොමුවන බව බොහෝදෙනාට අමතකය. එක් අතකට සුන්දරව සිටීම ඔවුන්ගේ වෘත්තියේ කොටසක්ය. එබැවින් ඔවුන් බාහිර පෙනුම හොඳින් නඩත්තු කරනා බව කවුරුත් දන්නා කරුණක්ය. නිවසේ සිටින සැමියා, බිරිඳ ඔවුන් සමඟ සැසඳීමට යාම ඉතාම බොළඳ ක්‍රියාවක් බව නොලියාම බැරිය.
විවාහයට පෙර ඉතා සුන්දර රුවක් හිමි වුවද දරු මල්ලන් ලැබීමෙන් පසු සිරුර වැහැරුණු බිරිය හැර දමා අන් ස්ත්රීන්ගේ සුව සොයා යන මහත්වරුන්ද මේ සමාජයේ හිඟ නැත.
තමන්ගේ සැමියාගේ, බිරිඳගේ ශරීර අඩුපාඩු පිටස්තර අයවලුන් ඉදිරියේ වක්කඩ කැඩුවා සේ දිගහැරීමට මෙවන් උදවිය දෙවරක් සිතන්නේ නැත. නමුත් එවැනි හැසිරීම් ඔවුන් නොදැනුවත්වම අන් අයගේ විවේචනයට ලක්වන අතර, ඔවුන්ගේ පෞරුෂය පිළිබඳවද වැරදි චිත්‍රයක් සමාජගත වේ.
ගුණදම් පිළිබඳව නොසොයා, නොසිතා පිට පොත්තෙන් සහ බාහිර ඔපයෙන් පුද්ගල වටිනාකම් මැනීමට යන මෙවන් බොහෝදෙනාගේ අවසානය සනිටුහන් වන්නේ තනිවීම්වලින් සහ කළකිරීම්වලින්ය.
සාර්ථක යුග දිවියක් ගත කිරීමට සමේ පැහැය, උස්මිටි බව, ලස්සන කැත අදාළ නොවන බව බුද්ධියෙන් වටහාගැනීම වැදගත්ය. යමෙකුගේ බාහිර සුන්දරත්වය කාලය සමඟ වියැකී ගියද ඔහුගේ අභ්‍යන්තර ගුණදම් සහ වටිනාකම් කාලය සමඟ වැඩි වනවා මිසක අඩු වන්නේ නම් නැත.
අප කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා තවත් පුද්ගලයෙකුගේ බාහිර පෙනුමට උසුළු විසුළු කිරීමට තවත් අයෙකුට ඇති අයිතිය කුමක්දැයි හෘද සාක්ෂියෙන් විමසා බැලීම වැදගත්ය.
එසේම නිරූපාගේ කතාවෙන් මට මතු කරලිය යුතු තවත් කාරණාවක් ඇත. ඒ නිරූපා ඇයගේ ප්‍රථම සබඳතාවයෙන් පළිගැනීමට අවශ්‍ය බව දැන්වූ විටම ඇයගේ වැඩිහිටියන් ඇයව යම් උපදේශන සේවාවක් වෙත යොමු කළේ නම් ඇයටත් පැතුම්ටත් මෙවැනි සංකීර්ණ ගැටළුවකට මුහුණදීමට සිදුනොවන බවය.
කෙසේ වුවත් බාහිර පෙනුමෙන් යමෙකුගේ වටිනාකම මැනිය නොහැකි බව කුඩා කල සිටම තම දුවා දරුවන්ට කියාදීම දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීමක් බවත් අවසාන වශයෙන් සටහන් කළ යුතුය.
(මෙය මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද කතාවකි.)
සෙව්වන්දි හෙට්ටිආරච්චි