විශේෂාංග

ගැහැනුත් හරියට ටී බෑග් වගෙයි. ශක්තිය බලන්නනම් උණුවතුරට දාන්නම ඕන

“පියාසර කරන තුරු ඔබ ජීවත් වී නොමැත” යන්න බෙසී කෝල්මන්ගේ තේමාවයි.

ටෙක්සාස්හි ඇට්ලන්ටා නගරයේදී බෙසී කෝල්මන් උපත ලැබුවේ 1892 ජනවාරි 26 වනදාය. ඇයට සහෝදර සහෝදරියන් දොළොස් දෙනෙකි. මව සුසෑන් කෝල්මන් සහ පියා ජෝර්ජ් කෝල්මන් අප්‍රිකා ඇමරිකා සම්භවය ඇත්තන් වූහ. පවුලේ නඩත්තුව ඔවුන් ගෙනගියේ හවුල් වගාවන්ගෙනි. ආර්ථික අපහසුතා මෙන්ම වෙනස්කොට සැලකීම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය පහසු වූයේ නැත. 1901 වසරේදී ඔක්ලහෝමා වෙත පිටත් වීමට ජෝර්ජ් කෝල්මන් තීරණය කරන්නේ එනිසාය.  එහෙත් දන්නා යකා නොදන්නා දෙවියන්ට වඩා විශ්වාස කළ සුසෑන් ටෙක්සාස්හිම රැඳී සිටීමට තීරණය කළාය. පවුලේ යහපත අපේක්ෂාවෙන් පියා පමණක් පිටත් විය.

ජීවිතයේ කටුක බව මනාව අවබෝධ කරගත් කුඩා බෙසී හැකි සෑමවිටම මවගේ කටයුතුවලට උපකාර කළාය. කපු පුළුන් එකතු කිරීමටත් රෙදි සේදීමටත් බෙසී මෑණියන්ට සහාය වූයේ අතිරේක මුදල් සෙවීමේ අපේක්ෂාවෙනි. වයස අවුරුදු 18 වනවිට ඔක්ලහෝමාහි ලැන්ග්ස්ටන් නගරයේ පිහිටි විශ්වවිද්‍යාලයකට (වත්මන් ලැන්ග්ස්ටන් සරසවිය) ඇතුළත් වීමට ප්‍රමාණවත් මුදලක් එක්රැස් කරගැනීමට බෙසී සමත් විය. එහෙත් දරිද්‍රතාවය විසින් තීරණය කර තිබුණේ ඇයගේ විශ්වවිද්‍යාල සිහිනය එක් අධ්‍යයන වාරයකින් නිම කිරීමටය.

1915 දී බෙසී චිකාගෝ වෙත පැමිණියේ සිය සහෝදරයන් සමඟ වාසය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 23 කි. රූපලාවණ්‍ය පාසලකට ඇතුළත් වූ ඈ පසුව නිය සැකසුම් ශිල්පිනියක ලෙස සේවයට එක්වූවාය.

1914 වනවිට ප්‍රථම ලෝක යුද්ධය යුරෝපයෙහි ඇරඹිණ. බෙසීගේ සහෝදරයෝද හමුදාවට බැඳී ඊට එක්වූහ. ප්‍රංශයේදී ලැබූ අත්දැකීම් මව්රට පැමිණි පසු නැගණිය සමඟ බෙදාගැනීමට ඔවුන් පසුබට වූයේ නැත. ඒ වෙද්දී යුද තොරතුරු දැනගැනීමට බෙසීට වූයේ දැඩි උනන්දුවකි. ඊට අදාළ කතා ඇසීමට, කියවීමට ඇය පුරුදුව සිටියාය. ගුවනින් ගොස් පහරදීම ඇගේ සිතේ ජනිත කළේ විස්මයකි. අහසේ පියාසර කිරීම ගැන බෙසී සිහින දුටුවාය. එනිසාම සොහොයුරන්ට ඇගෙන් බේරීමක් නැති විය. ඇගේ වැඩි අවධානය වූයේ ගුවන් හරඹ වෙතය. සොයුරු ජෝන් ඒ බව හොඳින් නිරීක්ෂණය කළේය.  ප්‍රංශ කතුන් ගගන සැරීමට දැනුම ලබන අයුරු ඔහු විස්තර කළේ හොඳහැටි රස කරමිනි. බෙසීගේ උනන්දුව දුටු ජෝන් ඇයට එවැනි අවස්ථාවක් හිමි නොවීම ගැන විසුළු කළේය. ඉන් වූයේ බෙසී තව තවත් උනන්දු වීම පමණි. රාත්‍රියේ පමණක් නොව දහවලෙහිද ඈ ඒ සිහිනයම දුටුවාය.

සිහිනය හදවතේ ගැඹුරේම තබාගත් බෙසී කෝල්මන් ගුවන්යානා පාසලකට අයදුම්පතක් යොමු කළාය. ඉන් ප්‍රතික්ෂේප වූ විට ඇය තවත් පාසලකට ඉල්ලුම් කළේ අසීමිත ආසාවෙනි. අවසන ඇමරිකාව පුරාම ගුවන්යානා පාසල් වෙත බෙසීගේ අයදුම්පත් යොමුව තිබිණ. ඒ සෑම තැනකදීම ඇගේ නුසුදුසුකම වූයේ ජනවාර්ගිකත්වය සහ ලිංගිකත්වයයි. කළු සමත්, ස්ත්‍රීභාවයත් ඇගේ සිහිනය දැකීමට හරස් විය. මේ අතර අප්‍රිකා ඇමරිකා සම්භවය සහිත ප්‍රසිද්ධ පුවත්පත් ප්‍රකාශකයකු වූ රොබට් ඇබොට් ඇගේ සිහිනයට රුකුල් දීමට නව මගක් පෙන්වා දුන්නේය. ප්‍රංශයට යාම බෙසී සතු හොඳම විකල්පය බව ඔහුගේ ස්ථාවරය විය.

ගුවන ජයගැනීමට ප්‍රංශයට යා යුතුය. ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට ඈ සැරසුණාය. තවත් කඩුල්ලකි. එය සම්පූර්ණ කළ යුත්තේ ප්‍රංශ බසිනි. පෙරට තැබූ පය පසුපසට ගැනීමට බෙසී සූදානම් නැත. ඒ නිසා ඇය ප්‍රංශ භාෂාව හැදෑරීමට රාත්‍රී පන්තිවලට සහභාගී වුවාය. බස හැසිරවීම උගත් බෙසී අයදුම්පත් පිරෙව්වේ දැඩි විශ්වාසයෙනි.

ඇගේ සිහිනය යථාර්ථයක් වන ලකුණු පළවිය. ප්‍රංශයේ කෝඩ්රන් බ්‍රදර්ස් ගුවන් පාසල ඇගේ අයදුම්පත පිළිගත්තේය. 1921 ජුනි 15 වනදා අන්තර්ජාතික ගුවන් නියමු බලපත්‍රයක් හිමිකර ගැනීමට බෙසී සමත් වූයේ ඒ අනුවයි. ඒ, එවැන්නක් කළ පළමු අප්‍රිකා ඇමරිකානු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙමිනි. ඇය තැබූ සළකුණට මේ වනවිට වසර සියයකි.

ගුවන් නියමු බලපත්‍රය ලැබීමෙන් පසු ඇගේ ඊළඟ අපේක්ෂාව වූයේ ගුවන්යානයක් මිලට ගෙන තමාගේම ගුවන් පාසලක් ඇරඹීමයි. ඒ වෙනුවෙන් ආධාර එකතු කරගැනීමට ඈ පාසල්, පල්ලි, නාට්‍ය ශාලා ආදී විවිධ ස්ථානවල සිය ගුවන් හැකියා පිළිබඳ දේශන පැවැත්වූවාය. එහෙත් අප්‍රිකා ඇමරිකානු සම්භවය ඇත්තන්ට වෙනස්කොට සළකන කිසිඳු ස්ථානයක පෙනී නොසිටීමද බෙසී වගබලා ගත්තාය. පසුකාලීනව බෙසී ගුවන්යානා හිමිකාරියක ද වූවාය.

අප්‍රිකා ඇමරිකා කාන්තාවක විසින් කරනු ලැබූ ප්‍රථම මහජන ගුවන් සංදර්ශනය බෙසී ඉදිරිපත් කළේ 1922 වසරේදීය. ඇය ගුවන් සංදර්ශනවලදී වඩාත් ප්‍රසිද්ධ වූයේ ‘loop-the-loops’ සහ 8 හැඩය සැකසීමටය. බෙසීගේ දස්කම් හමුවේ ජනතාව බෙහෙවින් සතුටට පත්වූහ. ඇමරිකාවේ පමණක් නොව යුරෝපය පුරා ජනප්‍රියතාවට පත්වීමට බෙසීට වැඩි කලක් ගියේ නැත.

ගුවන් සංදර්ශන ඉදිරිපත් කිරීම බෙසීට මහත් සතුටක් විය. එමෙන්ම ගුවන්යානා පැදවීම ගැන ජනතාව දැනුවත් කිරීමට ඇය බෙහෙවින් කැමති වූවාය. කාන්තාවන් ඒ කෙරෙහි වැඩි වැඩියෙන් උනන්දු කරවූවාය. අප්‍රිකා ඇමරිකා සම්භවය සහිත පුද්ගලයන්ට සිහින කරා යාමට දිරි දුන්නාය.

සිය ගුවන් දිවිය වසර දෙකක් වනවිට 1923 දී ඇය දරුණු අනතුරකට මුහුණ දුන්නාය. ගුවන් ගමනක් අතරතුර එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් යානය කඩා වැටිණ. බෙසීගේ පාදයක් බිඳී ගියේය. ඉළ ඇට කිහිපයක් පුපුරා ගොස් මුහුණටද තුවාල සිදුවිය. එහෙත් දිවි ගලවාගත් බෙසී ටික කලකින් සම්පූර්ණ සුවය ලැබුවාය. එබැවින් ඇගේ ගුවන් ගමන් නැවතීමට එම අනතුරට හැකි වූයේ නැත. 1925දී බෙසී සුපුරුදු ගුවන් කරණම් සමඟින් එක්වූවාය.

සිය උපන් පළාත වූ ටෙක්සාස්හි අතිමහත් ජන සහභාගීත්වයක් සහිත සංදර්ශනයකට ඈ සූදානම් වූයේ එම අවදියේදීය. ඒ වෙද්දීද සමේ වර්ණයට වූ වෙනස්කම් අඩු නොවීය. සංදර්ශනය නැරඹීමට පැමිණෙන සුදු ජාතිකයන්ට සහ කළු ජාතිකයන්ට වෙන වෙනම පිවිසුම් දොරටු සැකසීමට සංවිධායකයෝ කටයුතු කළහ. සියල්ලන්ට පොදු ප්‍රවේශයක් ලබාදෙන තුරු සංදර්ශනය ඉදිරිපත් නොකරන බව කෝල්මන් ප්‍රකාශ කළාය. ඇය ගුවනට නැගුණේ ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක වූ පසුය.

1926 අප්‍රේල් 26 වනදා බෙසී පරික්ෂණ ගුවන් ගමනකට එක්වූවාය. නියමු අසුනේ ඇගේ සහායක විලියම් විල්ස් ය. බෙසී මගී අසුනෙහිය. අඩි 3000 ක් පමණ ඉහළ අහසේ දී හටගත් දෝෂයක් හේතුවෙන් යානයේ පාලනය විල්ස් අතින් ගිලිහී ගියේය. බෙසී ආසන පටි පැළඳ නොසිටියාය. අද මෙන් වහලක් හෝ විශේෂ ආරක්ෂිත ක්‍රමෝපාය එකල ගුවන්යානා සතු නොවූ බැවින් විවෘත යානයෙන් බෙසී ඉවතට විසිවූවාය. සිහින මෙන්ම ප්‍රතිපත්ති වෙනුවෙන් අසීමිතව පෙනී සිටි සුවිශේෂ කාන්තාව වයස අවුරුදු 34 ක් සම්පූර්ණ කර ජීවන චාරිකාව නිම කළාය. ඇගේ සහායකයාද ඊට මදක් දුරින් යානය සමඟ බිමට පතිතව ජීවිතයෙන් සමුගත්තේය. කැපවීම, ධෛර්යය ගැන ලෝකයටම ඉගැන්වූ බෙසී කෝල්මන් හෙවත් ‘ක්වීන් බෙස්’ ගේ හදිසි අභාවය ජනතාව කම්පනයට පත්කළ සිදුවීමක් විය.

චිකාගෝහී චැලෙන්ජර් ගුවන් නියමු සංගමය 1931 දී කෝල්මන්ගේ සොහොනට ඉහළින් ගුවන් යානයක් පියාසර කිරීමට තීරණය කළේය. එය වාර්ෂිකව සිදුකෙරෙන චාරිත්‍රයකි. අප්‍රිකා ඇමරිකා ගුවන් නියමුවරියන් 1977 දී ගුවන් සමාජයක් ස්ථාපිත කළේ බෙසී කෝල්මන්ගේ නමිනි. ඇගේ චරිතයට ගෞරවයක් පිණිස 1995 වසරේ දී සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණ.

“කාන්තාව තේ බෑගයක් බඳුයි. උණුවතුරට දමන තෙක් ඇගේ ශක්තිය කොතෙක්දැයි පැවසීමට ඔබට නොහැක.”

බෙසී කෝල්මන් එසේ පැවසුවා පමණක් නොව සිය ශක්තිය කොතෙක් දැයි සැමට පෙන්වුවාය.

රෂ්නිකා ලියනගේ