විශේෂාංග

කොවිඩ් හොඳ වෙන අයගෙ ඔලුව හොඳ නැති වෙන්නෙ ඇයි?

පවුලේ සියල්ලන්ටම කොවිඩ්​ වෛරසය ආසාදනය වීම පිළිබඳව සුමනාවතී සිටියේ දැඩි විස්සෝපයෙන්ය.

කොවිඩ් සුව වී නිවසට පැමිණ සති දෙකක් පමණ ගතවුවත් ඇයගේ සුසුම්ලෑම්, මුළුගැන්වීම් වැඩි වූවා මිසක අඩු වූයේ නැත.

වෙනදා ක්‍රියාශිලී කාන්තාවක වූ තම මවගේ මේ හැඬීමේ රටාව සාමාන්‍ය එකක් නොවන බව ප්‍රථමයෙන්ම පසක් කරගත්තේ පවුලේ වැඩිමහල් පුත්‍රයා සමන්ත ය.

මින් පෙර පවුලේ කිසිවෙකුටත් මානසික ව්‍යාකූලතා ඇතිවී නොමැති නිසා මෙය මානසික ගැටළුවක් නොවන බව පවුලේ සියල්ලන් පැවසුවත් සුමනාවතීව වහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට සමන්ත ඉක්මන් වූවේය.

‘‘කොරෝනා හැදිලා ගෙදර ආව දවසේ ඉඳලම අම්මා හරි වෙනස්. නිතරම වගේ කල්පනා කර කර ඉන්නවා. රෑට නිදාගන්නෙත් නැහැ. ඒ මදිවට පැත්තකට වෙලා තනියම අඬ අඬ ඉන්න වෙලාවලුත් තියෙනවා ඩොක්ටර්…’’

සමන්ත වෛද්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

කරුණු සලකා බැලූ වෛද්‍යවරයා තහවුරු කළේ සුමනාවතීට කොවිඩ් නිසා ඇතිවන විශාදය තත්ත්වයක් උද්ගත වී ඇති බවය.

පශ්චාත් කොවිඩ් සංකූලතා ලෙස මනෝවෛද්‍යමය සහ මනෝ සමාජයීය ගැටළු ඇතිවීමේ අවධානමක් ඇති බව අපට පැවසූයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යූ.ඩී.එන්.ප්‍රසාද් මහතායි. මේ ඔහු සමඟ කළ සංවාදය ඇසුරින් සකස් කරන ලද ලිපියකි.

‘‘මෙතැනදී අපි මුලින්ම කතා කරන්න ඕනේ පෙර ඉඳලම මානසික රෝගයකින් පෙළුණ කෙනෙක්ට කොවිඩ්-19 ආසාදනය වීම බලාපන්නේ කොහොමද කියන එක. මානසික රෝගයක් තියෙන කෙනෙක්ට කොවිඩ් වැළඳුණාම රෝගය උත්සන්න වී රෝහල්ගත වීමට එහෙමත් නැතිනම් රෝගයෙන් මියයාමට තියෙන ඉඩකඩ වැඩියි.’’

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයේ අහිතකර බලපෑම හේතුවෙන් මානසික ව්‍යාකූලතා සහිත පුද්ගලයන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවය.

‘‘ඔවුන් දිගින් දිගටම ලබාගනිමින් සිටි ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීමත් එයට බලපානවා. ඒ වගේම මානසික ව්‍යාකූලතා තිබෙන අය කොවිඩ් නිසා දරුණු ලෙස මානසික පීඩනයට ලක්වෙන්නත් පුළුවන්. එයත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළුවලට ඍජු ලෙස බලපෑම් ඇති කරනවා.’’

කොරෝනා වෛරසයට භීතියෙන් සියදිවි නසාගත් පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇත.

සියදිවි නසාගැනීම් සඳහා බොහෝවිට හේතුවන්නේ විශාදය නම් රෝගී තත්ත්වය උත්සන්න වීමයි.

‘‘රජයේ රෝහල්වල වෛද්‍ය සායන විවෘත වෙලා තියෙන නිසා ඒවට රෝගීන්ව යොමු කරලා වෙලාවට ඖෂධ ටික ලබාදෙන එක හරිම වැදගත්. මානසික රෝගවලට ප්‍රතිකාර ගන්න ඇතැම් අය කොවිඩ් එන්නත විදගන්න බයයි. හැබැයි මානසික රෝගයක් තිබීම හෝ මානසික රෝගයකට ඖෂධ ලබාගැනීම කොවිඩ් එන්නත් ලබාගැනීමට බාධාවක් කරගන්න එපා කියන එක මෙතැනදී විශේෂයෙන්ම කියන්න ඕනේ.’’

පශ්චාත් කොවිඩ් සංකූලතාවයක් ලෙස මානසික ව්‍යාකූලතාවයක් ඇති වීමට බලපාන හේතූන් ජීව විද්‍යාත්මකව සහ සමාජීය හේතූන් ලෙස බෙදා දැක්විය හැකියි.

‘‘කොරෝනා වෛරසය නිසා ශරීරයේ හටගන්නා ප්‍රදාහය තත්ත්වයන් නිසා මිනිසාගේ මොළයටත්, ස්නායු පද්ධතියටත් දරුණු ලෙස හානි වෙන්න පුළුවන්. ඒ නිසා කොවිඩ්-19 සංකූලතාවයක් විදිහට විවිධ මානසික ව්‍යාකූලතා ඇතිවෙනවා. ඒ වගේම කොවිඩ් රෝගය උත්සන්න වූ පසු ලබාදෙන ඇතැම් ඖෂධත් මේ තත්ත්වයට හේතු වෙන්න ඉඩ තිබෙනවා.

කොවිඩ් නිසා පවුලේ අය මියයාම හෝ තමා හෝ පවුලේ අය මියයතැයි සිතට දැනෙන බිය, නිරෝධායන කාලසීමාවකදී එකම ස්ථානයකට කො​ටුවීම නිසා දැනෙන තනිකම, කොවිඩ් සමඟම ඇතිවෙන ආර්ථික සමාජයීය ගැටළු ගැන නිතර නිතර සිතීමට යාම වගේ සමාජයීය ගැටළු නිසා කොවිඩ් සුව වූවාට පසුත් මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.’’

පශ්චාත් කොවිඩ් සංකූලතා ලෙස ඇතිවන මානසික ව්‍යාකූලතා මොනවාද යන්න දැනුවත් වීම ඉතා වැදගත්ය.

‘‘සුලබම තත්ත්වය තමයි පශ්චාත් කොවිඩ් විශාද තත්ත්වය. මේ තත්ත්වයේදී බොහෝදෙනාට නින්ද නොයාම, කල්පනා කිරීම, මරණීය සිතුවිලි පහල වීම වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පශ්චාත් කොවිඩ් කාංසාව (Anxiety) කියන තත්ත්වයත් බහුලව දැකගන්න පුළුවන්. භීතිය, ආතතිය, අවිනිශ්චිතව සිටීම, නොසන්සුන්කම, අධික ලෙස දහදිය දැමීම වගේ ලක්ෂණ රාශියක් මේ තත්ත්වය නිසා ඇතිවෙනවා.

ස්නායුවලට වෙන බලපෑම නිසා කල්පනාව සහ මතකය අඩුවීම, නිතර මනෝභාවයන් (Moods) වෙනස්වීම, ව්‍යාකූල වීම, නිකරුණේ කේන්ති ගැනීම, අසහනකාරීව සිටීම, ක්‍රියාශීලත්වය අඩුවීම වගේ තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්.’’

කිසිඳු කායික රෝග තත්ත්වයක් නොමැති වුවත් පශ්චාත් කොවිඩ්-19 සංකූලතා ඇතිවී ඇති බවට මැසිවිලි නගනා අයද ඕනෑතරම් ඇති අතර, එයද එක්තරා මානසික ව්‍යාධිමය තත්ත්වයක්ය.

‘‘ඔය තත්ත්වයට අපි කියන්නේ පශ්චාත් ක්ලමතය කියලයි. (Post Traumatic Stress Disorder) එතැනදී වෙන්නේ කොවිඩ් සංකූලතා නැතිවත් සංකූලතා මතුවෙනවා වගේ දැනෙන එකයි. කොවිඩ් හැදුනු නිසා පපුව රිදෙනවා, හන්දි රිදෙනවා කියන රෝගීන් දිනපතාම වගේ අපේ සායනවලට පැමිණෙනවා.’’

එම තත්ත්වයට අමතරව ඩිමෙන්ෂියාව රෝගය ඇතිවීමටත්, උත්සන්න වීමටත් ඉන්සොමිනීයා (නින්ද නොයෑම), භීන්නෝන්මාදය වැනි රෝග තත්ත්ව ඇතිවීමත් කොරෝනා වෛරසය හේතුවන බව සටහන් කිරීම වැදගත්ය.

‘‘යම් යම් ජීව විද්‍යාත්මක හේතු නිසා කාන්තාවන්ට මානසික ගැටළු ඇතිවෙන්න තියෙන අවධානම පිරිමින්ට සාපේක්ෂව වැඩියි. ඒ නිසා කොව්ඩ් මානසික සංකූලතා ඇතිවෙන්නත් වැඩි අවධානමක් තියෙන්නේ කාන්තාවන්ටයි. ඒ වගේම කොවිඩ් ආසාදනය වුණු රෝගීන් සහ වයස්ගත පුද්ගලයනුත් මේ අවධානම් කාරණාව අතරේ ඉන්නවා. හැබැයි දරුවන්ට මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ලෝකයේ දැනට වාර්තාවෙන දත්ත සලකා බැලුවම කොවිඩ් ආසාදනය වුණු දරුවන්ගෙන් 10%කට විතර කොවිඩ් පශ්චාත් මානසික සංකූලතා ඇතිවෙලා තියෙනවා.’’

ඉහත කිව් ඛාණ්ඩයන්ට අමතරව පෙර සිටම මානසික ව්‍යාකූලතා තිබූ පුද්ගලයන්ට, දියවැඩියාවෙන් පීඩා විඳින්නට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන්ටද මෙම තත්ත්වය ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.

‘‘කොවිඩ් සුවවෙලා මාසයකට පස්සේ වුණත් මේ මානසික ව්‍යාකූලතා මතුවෙන්න පුළුවන්. ලෝකයේ වසංගත ඉතිහාසය සලකලා බැලුවම සමහර වසංගත නිසා ඇතිවුණු මානසික සංකූලතා අවුරුදු දහයකටත් වඩා පවතින්න පුළුවන් කියන එක සනාථ වෙලා තියෙනවා. ඉතින් කොව්ඩ්වලින් හැදෙන මේ සංකූලතා සුව වෙන්නත් අවුරුදු ගණනාවක් ගතවෙන්න පුළුවන්. ඒ කියන්නේ කොරෝනා නිසා දිගුකාලීන මානසික රෝගයන් පවා ඇතිවිය හැකියි කියන එකයි. ඇත්තටම ඒක ඉතා භයානක තත්ත්වයක්.’’

මෙවන් රෝග ඇති වූවාට පසු ප්‍රතිකාර කිරීමට වඩා කොරෝනාවෙන් ආරක්ෂාවීම වඩා වැදගත් බව වෛද්‍යවරයාගේ අදහසයි.

‘‘කොවිඩ් හැදුන අයට විතරක් නෙවෙයි කොවිඩ් නිරෝධායනය නිසත් ගොඩක් අයට මානසික ගැටළු ඇතිවෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය ඉහළ යාම වගේ සමාජ ගැටළු වැඩි වෙන්නත් මේ මානසික ව්‍යාකූලතා හේතු වෙනවා.

යම් කෙනෙක් කොවිඩ් රෝගියෙක්ගෙන් ආශ්‍රිතයෙක් වෙලා හරි කොව්ඩ් ආසාදනය වෙලා හරි නිරෝධායනය වෙනවා නම් නිතරම රෝගය ගැන හිත හිතාම ඉන්න එපා. හැමවිටම හොඳ නින්දක් ලබාගන්න උත්සාහ කරන්න. ඒ වගේම ශාරීරික ව්‍යායාම, මනස ලිහිල් කිරී‍මේ ව්‍යායාම (Mind Relaxation) භාවනා කිරීම වගේ දේවල් කරන්නත් අමතක කරන්න එපා.’’

එසේම විනෝදාත්මක චිත්‍රපට නැරඹීම, තාක්ෂණික ක්‍රමවේද හරහා සමාජ සබඳතා පවත්වා ගැනීම වැනි ක්‍රියාකාරකම්ද මනස සන්සුන් ලෙස තබාගැනීමට ඔබට උපකාරී වන දෑ ය.

‘‘වගේම කොවිඩ් මර්ධන එන්නත් ගත් අයට පශ්චාත් කොවිඩ් මානසික සංකූලතා පවා ඇතිවෙන්නේ අඩුවෙන්. ඒ නිසා එන්නත් ලබාගන්නත් අතපසු කරන්න එපා.

වගේම කොවිඩ් සුවවෙලා ගෙදරට ආව පවුලේ සාමාජිකයෙක් ඉහතින් කතා කළ ලක්ෂණ පෙන්වනවා නම් වෛද්‍යවරයෙකු හමුවන එක වඩා ආරක්ෂිතයි කියන එකත් විශේෂයෙන්ම කියන්න ඕනේ.’’

 

කායික රෝග විශේෂඥ වෛද්‍ය

යූ.ඩී.එන්.ප්‍රසාද්

කන්තලේ මූලික රෝහල

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි