විශේෂාංග

අපි එයාට මැරිලත් පැයක් ආදරෙයි – ඒත් එයා ආදරේ සංගාට

එය ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් අතර මීට සති කිහිපයකට උඩදී පැවති කාන්තා ක්‍රිකට් තරඟයකි. එක්වරම ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක් දැවීයන්නේ ඉන්දියානු ප්‍රේක්ෂකයින් නිහඬ කරවමිනි. ඇය ක්‍රිකට් පිත්තත් රැගෙන පිටියට එන්නේ ඒ මොහොතේය. ඇගේ පැමිණීම නිසා නිහඬ වූ ප්‍රේක්ෂකාගාරය අලුත් පණක් ලැබුවාක් මෙන්ය.

මේ යුවතිය නිහතමානීය. ඒ වගේම සරලය. කොයිදේටත් වඩා ඇගේ රූපය ගැන නම් නොකියාම බැරිය. ඇය බොලිවුඩ් නිළියක් තරම් හැඩකාරය. ඊට නොදෙවෙනි සුන්දර සිනහවද තරුණයින්ට නම් ඉනාවකි. ඒ නිසාම ශ්‍රී ලාංකික තරුණයින්ගේ සිහින පෙම්වතිය ඇයයි. ඇතැම් තරුණයින් ෆේස්බුක් එකට ගොස් පවසන්නේ මේ කෙල්ලට මැරිලත් පැයක් ආදරේ බවය.

ඉන්දියාවේ ගුජරාටියේ මර්වාරි ගැහැනුන්ට අකැප දේ බොහෝය. ඒ ඔවුන්ගේ සංස්කෘතියේ හැටිය. අවාසනාවට මෙන් ඇය උපන්දින්නේද මර්වාරියේය. එවන් පරපුරකින් පැවත එන තරුණියන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම දුර්ලභය. ඒ සංස්කෘතික ගැටළු නිසාවෙනි. ඒ නිසාම ක්‍රීඩාවට යොමුවීම ගැන ඥාතීන් පවා ඇය හැදූ වැඩූ දෙමව්පියන්ට දොස් කීහ. එහෙත් ඇයට අවශ්‍ය වූයේ ඒ බාධාකාරී සංස්කෘතික රාමුව ගැළවීමටයි.

මේ වනවිටත් ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය ලෙස ලෝකයේම ආදරය දිනා සිටින ඇය අද සිටිනා තැනට එන්නට බොහෝ දුක් වින්දාය. නමුත් අධිෂ්ඨානයත්, උත්සාහයත්, කැපවීමත් ඇතිකල කළ නොහැකි දෙයක් නැති බව ඇය ඔප්පු කර පෙන්වා හමාරය.

‘‘ජීවිතය ගැන ලොකු ඉලක්ක මට නෑ. හැබැයි මං ක්‍රීඩා කරන කාලයේදී ඉන්දියාවට කාන්තා ලෝක කුසලානයක් දිනාදීම තමයි ලොකුම ඉලක්කය.’’

ඇය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරුදු 15න් පහළ කාන්තා ක්‍රිකට් පිලට එක්වෙද්දී වයස අවුරුදු නවය පිරුණා පමණි. ඒ අනුව එදා මුම්බායි නුවරින් ක්‍රිකට් පිටියට පිවිසි මේ හැඩකාර යුවතිය වමතින් පිත්ත හසුරුවමින් දකුණතින් මඳවේග පන්දු යවමින් පෑ දස්කම් නිසාම 19න් පහළ කාන්තා පිලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවිය. පසුව 2014 වසරේදී ඇය ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පැමිණියාය. තවමත් ඇය විසිපස් හැවිරිදිය.

ජීවිතය ගැන වෙනස්ම ආකාරයකට හිතන ඇය දේවත්වයෙන් අදහන චරිත දෙකක් තිබේ. ඒ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ය. ​මේ දෙපළම එතෙක් මෙතෙක් ලෝකයේ පහල වූ සුපිරිතම දකුණත් මෙන්ම වමත් පිතිකරුවන් දෙපළය. ඒ නිසාමදෝ ඇයගේ ක්‍රිකට් ජීවිතයේ අසාහය වීරයන් දෙදෙනා ඔවුන්ය.

‘‘සචින් වගේම සංගා කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ වැඩිපුරම ආදරය කරන වීරයෝ දෙන්නෙක්. මං ‍පොඩි කාලේ ඉඳලම සංගාගේ වීඩියෝ බලලා මගේ පහරවල් දියුණු කරගත්තා. මාව ක්‍රිකට්වලට පෙළඹෙව්වේ සංගක්කාර කිව්වොත් නිවැරදියි.’’

ඇය පවසන්නේ කුමාර් සංගක්කාර යනු තම ක්‍රිකට් දිවියේ පූර්වාදර්ශය බවයි. මීට වසර කිහිපයකට පෙර සහභාගී වූ එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් ජීවිතයේ භාග්‍යයක් බව ඇය පවසා තිබුණි. ඇය පවසන්නේ තමා ලකුණු අතර නැති දිනවල කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්නා බවයි.

‘‘මම මගේ පළමු තරඟය ක්‍රීඩා කරද්දී සංගා විස්තර විචාරයේ යෙදී තිබෙනවා. මම ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා ඔහුගේ ටිවිටර් පණිවිඩයක් මං දැක්කා. මං එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොම හරි ඔහු එදා මුණගැහෙන්න ඕනේ කියලා. මම ඒ වගේ ඉල්ලීමක් වෙන කවුරු ගැනවත් කරලා නැහැ. මම ඔහුව දැන් සැහෙන කාලයක් ඉඳන් මගේ පූර්වාදර්ශය කරගෙන තියෙනවා. මම ඔහුගේ රසිකාවියක්. ඔහු කතා කරන්න රුචියක් ඇතිවන කෙනෙක්. අපි විනාඩි පහළොවක් විතර කතා කළා. මං පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා. මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා.’’

තැනකට එන්නට නම් ජීවිතයේ දුෂ්කරතා විඳිය යුතුය. කට්ට කෑ යුතුය. එදා මනමාලයෙක් සොයාගැනීමට හෝ නොහැකි වේ යැයි පවුලේ උදවියම කෑ ගැසූ කෙල්ලට අද මනමාලයන්ගෙන් අඩුවක් නැත. ඇය වෙන කිසිවෙක් නොව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනාය.

රුවන් එස්. සෙනවිරත්න