කැම්පස් නොගිහින් කේක් හදන්න ගිය ‘ජෙනී’
‘‘පාන් නැත්නම් කේක් කාපල්ලා.’’
ප්‍රංශ අගරැජිනක වන මාරි ඇන්ටොනිට් බඩගින්නේ මියැදෙමින් සිටි දරුවන් පාන් ඉල්ලූ විට ප්‍රංශ විප්ලවයේදී කී කතාවයි ඒ. වසර දෙදහස් ගණනක අතීතයක් ඇති කේක් සම්බන්ධව ඇති කතාද කේක් මෙන්ම රසවත්ය. එහෙම එක් කතාවකි මේ.
රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් රජුගේ බිරිඳ එලිසවෙටා රැජිනට මී පැණි රසය දරාගත නොහැකියිලු. රාජකීය මුළුතැන්ගෙයි සූපවේදීන් ඇගේ මේ අකමැත්ත දැන සිටි නිසා සියලුම රාජකීය අතුරුපස පිළියෙල කළේ මී පැණිවලින් තොරවලු.
මේ කිසිත් නොදැන සිටි අලුත් සූපවේදියෙක් දිනක් මී පැණි, පිටි එකට මිශ්‍ර කර ගුලියක් සාදා පුළුස්සා රැජිනට සංග්‍රහ කළේලු.
පුදුමයි! එහි රස බැලූ රැජිනිය වෙනදා මෙන් කෝප නොවී මහත් සේ සතුටට පත්වුණාලු. පසුව ඇදහිය නොහැකි තරමට මෘදු හා රසවත් වූ මේ ආහාරය ‘මී පැණි කේක්’ ලෙස යුරෝපය පුරාවට ජනප්‍රිය වුණාලු.
පසුකලෙක අයිසිං කේක්, බටර් කේක්, චීස් කේක් ආදී නොයෙකුත් වර්ගයේ කේක් ජාති සෑදුනත් ඒ සියල්ලටම පෙර තිබුණේ මී පැණි කේක් ය.
‘‘එදා ඉඳලා කේක්වලට තිබුණු ඉල්ලුම වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒ නිසා මේ අංශයෙන් ඕනම කෙනෙක්ට හොඳ ගමනක් යන්න පුළුවන්.’’
එසේ කියන්නේ සූපවේදී ජෙනෙව්රා දාබරේ ය. කේක් සෑදීමට පමණක් නොව රූපවාහිනී වැඩසටහන්වල ඒවා සාදන හැටි කියාදෙන සම්පත්දායිකාවක ලෙසත් ඈ ප්‍රකටය. අද ‘ධරණී’ කවරය දරාසිටින සූපවේදිනිය ඇයයි.
ජෙනෙව්රාගේ පියා රටම දන්නා කියන සුපවේදී රුක්ෂාන් දාබරේ ය. ඉදින් තාත්තා කටට රසට සදන කෑමවලට ඇය කවදත් ප්‍රිය කළාය.
ඉගෙනුම් කටයුතුවලින් ලබන විවේකය ඇය වෙන්කළේ තාත්තාගෙන් අලුත් කෑම වර්ග හදන හැටි ගැන ඉගෙනීමටය.
‘‘තාත්තාත් ගොඩක් ටීවී ප්‍රෝග්‍රෑම්වල ඉන්නවා. යමක්කමක් තේරෙන කාලේ ඉඳලා තාත්තා ටීවි එකේ කෑම හදන්න කියලා දෙන හැටි මම බලාගෙන ඉන්නවා. නිවාඩු දවසට තාත්තා අපිට එක එක ජාතියේ කෑම හදලා දෙනවා. ඉතින් එතකොට මමත් එයාට උදව් කරනවා. කොහොමටත් මට අවුරුදු තුන හතර වෙද්දිම අල, ලූනු සුද්ද කරන වැඩ, පලා කඩන වැඩ එහෙම තාත්තා මට පවරලා තියෙනවා.’’
කෑගල්ල පිංදෙණිය ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වන ජෙනෙව්රා කුඩා කල සිටම පියා ගිය මගම යන්නටයි උත්සාහ කළේ.
‘‘උසස් පෙළින් පස්සේ මම විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවා. ඒත් මේ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මට ඕන වුණේ. ඒ නිසා විශ්වවිද්‍යාලයට නොයා මම කටුනායක ග්‍රෑන්ඩ්ඩීසා හෝටලයේ මුළුතැන්ගේ සහායක තනතුරට බැඳුණා.’’
කුස්සියේ වැඩ ටික අහවර කළ පසු හොඳ පණ යන බව බවලතියන්ගේ අදහසයි. ඉදින් රැකියාව ලෙස දවස පුරාවටම මුළුතැන්ගෙයක් අස්පස් කිරීම එතරම් ලෙහෙසි පහසු දෙයක් විය නොහැක.
‘‘පුංචිම තැනින් පටන් අරන් උඩට යනකොට ලැබෙන පලපුරුද්ද සල්ලිවලටවත් ගන්න බැහැ. කේක් තැටි, අයිසින් භාජන හෝදන එක තමයි මම මුලින්ම කළේ. ඊටපස්සේ දවසින් දවස කරන වැඩ වැඩි වුණා. සමහර දවසට බිත්තර 5000ක් විතර කඩනවා. කොච්චර අමාරු වුණත් හැමදේම මම හරිම ආසාවෙන් කළා.’’
කේක් අංශයේ මුළුතැන්ගේ සහායිකාවක ලෙස වැඩ කළ ඇය කාලය සමඟ හරි රසට කේක් හදන හැටි, අයිසිං තවරන හැටි පමණක් නොව අයිසිං මල් නිර්මාණය කරන හැටිත් ඉගෙනගත්තාය.
‘‘පස්සේ මම රත්මලාන ෆැබ් එකේ කේක් නිර්මාණ ශිල්පිනියක් විදිහට වැඩ කළා. එතැනිනුත් මට හොඳ පළපුරුද්දක් ලැබුණා. දැන් මම කොල්ලුපිටිය ස්පොන්ජ් එකේ කේක් ඩිසයිනර් විදිහට කටයුතු කරනවා.’’
ජෙනෙව්රාගේ අතින් සාදන මල් සැබෑම මල් නොවන බව හඳුනාගැනීමට ඒවා කාලම බැලිය යුතුය. කේක් සඳහා ඈ නිර්මාණය කරන අයිසිං මල් එතරම්ම තාත්විකය.
‘‘කේක් එකක් ගන්නකොට ඕනම කෙනෙක් මුලින්ම බලන්නේ ඒකේ පෙනුම කොහොමද කියන එකයි. කොයිතරම් රස වුණත් කේක් එක හැඩ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා මේක භාවනාවක් වගේ බොහොම සීරුවට කරන්න ඕනේ. හිත එක තැනක තියාගන්න බැරි නම් මේ වැඩේ හරියට කරන්න බැහැ.’’
ඈ සාදන කේක් කෑමටත් කලින් නෙතත් හිතත් දෙකම පිරෙන්නේය. ‘හරිම රසයි’ ඒ නිසා ඇගේ කේක් කන කවුරුත් ඇයට කියන්නේ එහෙමය.
‘‘කොහේ හරි ගියාම ලස්සන මලක් දැක්කොත් ඒකේ ෆොටෝ එකක් ගහගෙන ඇවිත් ඒක හදන්න ට්‍රයි කරනවා. එහෙම නැත්නම් හදන්න ඕන මල ඒ වෙලාවට හිතේ මවාගන්නවා. ඇත්තම මල් හොයාගෙන ළඟින් තියාගෙන වැඩ කරන වෙලාවලුත් තියෙනවා. කේක් හදනකොට මම හොයාගන්න පුංචි පුංචි ටිප්ස් තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති මගේ කේක් හරි රසයි කියලා හැමෝම කියන්නේ.’’
ජෙනෙව්රාගේ වෘත්තිය කේක් සෑදීම වුණත් නිවාඩු පාඩුවේ නිවසේ ඉන්නාවිට තමා දන්නා රසවත් දෑ ද ගෙදර අයට සාදා දීමට ඈ කැමතිය.
‘‘මම ගෙදර හැමෝගෙම උපන්දිනවලට කේක් හදලා දෙනවා. කේක් විතරක් නෙවෙයි කැවුම්, කොකිස් වගේ දේශීය කැවිලි හදන්නත් මට පුළුවන්.’’
ජෙනෙව්රාගේ අම්මාත්, තාත්තාත්, අයියත් දැන් ඇය ගැන ආඩම්බර වන බව ඈ කියන්නීය.
‘‘මටත් මුලදි වැරදුනු තැන් තිබුණා. එකම මල වැරදි වැරදි කිහිපවතාවක් හැදුව දවස් තිබුණා. මම හිතන්නේ වැරදීම්වලින් තමයි මිනිස්සු ඉගෙනගන්නේ.
අවුරුදු පහක් වගේ කෙටි කාලෙකින් මේ වගේ දුර ගමනක් එන්න ලැබුණු එක ගැන සතුටුයි. මේ ක්ෂේත්‍රයේම ඉදිරියට ගිහිල්ලා ජාත්‍යන්තරය ජයගන්න එක තමයි මගේ ඉදිරි අරමුණ.
තාත්තගේ හැකියාව මගේ ජානවලට කාවැදිලා තිබුණා. අම්මගෙයි තාත්තගෙයි සහයෝගය නොතිබුණා නම් මට මේ තරම් දුරක් එන්න බැහැ.
ඒ වගේම පිංදෙණිය ජාතික පාසලේ සජීවනි ගුරුතුමියව, විදුහල්පති රණරාජා බණ්ඩාර, ෆැබ් ආයතනයේ දෙවිනුර සහ පද්මසිරි කියන සූපවේදී මහතුන්ට සහ කොල්ලුපිටිය ස්පොන්ජ් ආයතනයේ අධිපති ආකන්ත සහ එම මැතිණියත් මේ මොහොතේ මම ආදරෙන් මතක් කරනවා.
ඒ වගේම සූපවේදය කියන්නේ ලොකු ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ ඒකට බයක් තියාගන්න එපා කියන එකයි.’’
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප : මධුසංක සිරිවර්ධන