ලේලියි, පුතයි කලින් නින්දට ගියදාට අම්මට රටේම තියෙන ලෙඩ!
‘‘තමුසෙට ලැජ්ජා නැද්ද ඔය වගේ කතාවක් කියන්නවත්? කසාද බැඳපු ළමයෙකුත් ඉන්නවා නේද? මේ නාකි වයසට දික්කසාද වෙන්න ගියොත් මිනිස්සු අපිට මොනවා නම් නොකියයිද?’’
පියසීලි ඇගේ සැමියා සුමනසිරිට කීවේ වහලේ උළු උඩයන තරමේ හඬකිනි. මේ කියන පියසීලි හැටවිය පසුකළ විශ්‍රාමික කතකි. සුමනසිරි ඇයට වඩා වසර දෙක තුනකින් වැඩිමහල්ය.
විවාහ වී වැඩිකල් යන්නට මත්තෙන් සුමනසිරි ඔහුගේ පවුලේ උදවිය සමඟ තිබූ ඇයිහොඳැයිකම් නවතා දැමුවේ ‘‘ඔයාගේ පවුලේ හැමෝම මට වෙනස්කම් කරනවා’’ යැයි පියසීලි නිතර හඬාවැළපුණු නිසාය. එහෙත් ඒවා සියල්ල බිරිඳගේ මායම් කතා බව සුමනසිරි දැනගන්නා විට කෝචිචිය බොහෝ දුර ගොස් හමාරය.
කටේ බලේට නිවසේ ගෘහමූලිකකම අයිති කරගත් පියසීලිට ඉහළින් ඒ නිවසේ මැස්සෙකුටවත් පියෑඹීමට ඉඩක් නොවීය.
මේ දෙදෙනාගේ එකම පුතු රුවන්තය. සේවා ස්ථානයේ යුවතියක සමඟ ඔහු ඇති කරගත් පෙම් පලහිලව්වට පියසීලි මුලසිටම විරුද්ධ වුවත්, ගෑනු ළමයාගේ කියන්නට තරම් වරදක් නොතිබූ නිසා ඒ විවාහයට කොක්ක ගැසීමට ඇයට බැරි විය.
‘‘අම්මෝ ඉතින් මම ඇහේ කනේ තියන් හැදුව දරුවානේ… ගෙදරින් පිට එක දවසක් ඉඳලා තියෙනවද ඔය ළමයා…?’’
පියසීලි ඒ අඳෝනාව දිගහැරියේ පුතුගේ මංගල රාත්‍රිය දාය. මේ නම් අරඅදින්නේ තවත් හොඳ ජවුසමක් නැටීමට බව සුමනසිරි ඉවෙන් මෙන් දැන ගත්තේය.
‘‘පුතාට මගේ අතින් හදන තේ එකක් නොබී බැහැ. ඒ නිසා ඔය ළමයා පුතාට තේ හදන්න යන්න එපා.’’
පියසීලි රුවන්තගේ බිරිඳට කීවේ ඇය නිවසට පැමිණි දෙවන දිනයේයි.
වැඩිකල් යන්නට පෙර ලේලියගේ රස්සා ගමන නතර කිරීමටත් නිවසේ සියලු වැඩ ඇයගේ කරපිට පැටවීමටත් පියසීලි සමත් වූවාය.
‘‘අයියෝ! පරිප්පු හොද්දට ලුණු වැඩියි. කුස්සියේ බඩු මුට්ටු ඕනවට එපාවට නාස්ති කරන්න එපා ළමයෝ.. මේවා මේ පිනට හම්බෙන දේවල් නෙවෙයිනේ.’’
පියසීලිගෙන් ලේලියට වන අරියාදුකම් දිනෙන් දින වැඩි මිසක අඩුවන බවක් නම් පේන්නට තිබුණේ නැත.
‘‘අම්මා කෙනෙක් ළමයෙක්ව හදන්නේ කොච්චර අමාරුවෙන්ද? පිට ගෑනියෙක්ට පුළුවන්ද ඒ සම්බන්ධකම් කඩන්න? ඒ නිසා පුතාට කේලම් කියලා එහෙම මට අහුවෙනවා නෙවේ.’’
වෙනකක් තබා රුවන්තත් බිරිඳත් වේලාසන නින්දට යනවාටවත් පියසීලිගේ හිතේ කැමැත්තක් තිබුණේ නැත. එහෙම ගිය දින කිහිපයකම අසනීප වෙස්ගෙන පුතුව ඇය අසලට කැඳවා ගැනීමට ඈ කටයුතු කළාය.
‘‘ඒ ළමයා නම් ඔයාට හරියන්නේ නැහැ. ඔයාට ඔයිට වඩා හොඳ මංගල්ලයක් කරගන්න තිබුණා. ඔයා දැන් වුණත් පරක්කු නෑ පුතේ.’’
‘‘ඒ ළමයා දැන් වෙනම පවුලක් වෙලා ඉන්නේ. ඔයා ඒ පවුලේ දේවලට ඇඟිලි නොගහා ඉන්නවා නම් හොඳයි.’’
සුමනසිරි නිහඬ බව බිඳදැමුවේ තවත් ඇස් කන් පියා සිටියහොත් පියසීලි මේ පවුල කඩනා බව තක්කයටම දන්නා නිසාය.
‘‘ආහ්…. තමුසෙට මොක්කද ඔච්චර ඔය ගෑනි ගැන තියෙන රුදාව. තමුසෙගෙයි ඒකිගෙයි මොකක්හරි පලහිලව්වක් තියෙනවා නේද? මට ඇත්ත කියනවා.’’
ඒ කතාව ඇසූ සුමනසිරිට ඒ මොහොතේම පොළොව පලාගෙන යන්නට ඇත්නම් හොඳ යැයි සිතුණේය.
තමාට දික්කසාද වීමට අවශ්‍ය බව සුමනසිරි කීවේ ඉන්පසුය.
‘‘මේ කියන බිරිඳ තමයි මුලින්ම මාව හොයාගන ආවේ. සැමියා දික්කසාද වෙන්න යන නිසා කොහොමහරි ඔහුව නවත්තලා දෙන්න කියලා ඇය මට කිව්වා. කරුණු කාරුණා හොයලා බලද්දි ඒ සැමියාගේ කිසිම වරදක් නැති බව මට තේරුණා.
කසාද බැන්ද දවසේ ඉඳලම මේ සැමියා ජීවත්වෙලා තියෙන්නේ කොටි වලිගයක් අල්ලගත්තා වගෙයි. දරුවෙක් ලැබුණට පස්සේ ඇය මේ සැමියා ගැන හොයලා බලන එක පවා නවත්තලා දාලා තියෙනවා.
ඒ හැමදේම ඉවසුවත් පුතාගේ බිරිඳට කරන අරියාදුකම් ඉවසන්න මේ සැමියට බැරිවෙලා. පුතයි ලේලියි ගෙදරින් එළියට ගියත් මෙයා කියන්නේ ‘මලකෝලං අපේ කාලේ නම් ඕවා තිබ්බේ නැහැ කියන එකලු.
ඇත්ත. මේ කාන්තාවගේ කුහකකම නිසා ඇයට එහෙම ජීවිතයක් විඳින්න අවස්ථාව ලැබිලා නැහැ. ඇයට විතරක් නෙමෙයි ඇගේ අයහපත් ආකල්ප නිසා ඇගේ සැමියාටත් කර්කශ ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙලා.
සැමියට රට වටේම ඉන්න මිනිස්සු ගැන බොරු කේලම් කියලා නැති ප්‍රශ්න ඇති කරවන බිරින්දෑවරු ඕනෙතරම් ඉන්නවා. ටිකක් හොයලා බැලුවොත් බිරිඳගේ බොරු කේලම් අහලා මිනී මරපු සැමියන්ගේ කතන්දර වුණත් හොයාගන්න බැරි නැහැ.
‘අරයා මට මෙහෙම කළා, මෙයා අපි දෙන්නට මෙහෙම කිව්වා’ කියලා තමන්ගේ සැමියාව අවුස්සන්න යන එකෙන් වෙන්නේ ඒ ප්‍රශ්න තවත් දික්ගැස්සෙන එක විතරයි. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සැමියත් එක්ක එකතු වෙලා ඒක හරි මාර්ගයකින් විසඳගන්න උත්සාහ කරන එක තමයි හපන්කම.
සැමියා බිරිඳ අතර අන්‍යෝන්‍ය සහයෝගයක්, විශ්වාසයක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා බිරිඳ කියන කියන හැම එකම අහගෙන වටේම ඉන්න අයට දොස් කියන්න කලින් ඒ කතාවල ඇත්ත නැත්ත හොයලා බලන්න සැමියාත් බුද්ධිමත් වෙන්න ඕනේ.
අනික බොරු කේලම් කියලා අනුන්ට වෛර කරලා කිසිම කෙනෙක්ට සතුටින් පවුල් කන්න බැහැ. වැඩිහිටියන් විදියට වුණත් දෙන්නා දෙමහල්ලෝ හැසිරෙන්න ඕනේ තමන්ගේ දරුවන්ට ආදර්ශයක් වෙන විදිහටයි.
බිරිඳ ලේලියත් එක්ක කෙහෙවලු පටලවගන්නවා කියලා මගේ ළඟට එන සැමියන් ප්‍රමාණයත් අප්‍රමාණයි.
දරුවෙක් විවාහ වුණාට පස්සේ ඔවුන්ට වෙනම ගෙදරකට යන්න දෙන එක තමයි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ. දරුවෝ වෙනම ජීවත් වෙන්න ගියාම ඒ වැඩිහිටි යුවළටත් අලුතින් විවාහ වුණු දෙන්නෙක් වගේ ආයෙත් මුල ඉඳලා ජීවිතේ පටන්ගන්න පුළුවන්. අනික ‘මගේ බඩින් වදපු උන්’ කිය කියා ළමයි මත්තෙම නැහෙන්නයි එයාලගේ පවුල් ජීවිතේට ඇඟිලි ගහන්නයි යන එක ඒ තරම් ලස්සනත් නැහැ.
ඉතින් කොහොමහරි උපදේශන වාර කීපයකින් මේ කාන්තාවගේ අමුතු ගති යටපත් කරන්න මට පුළුවන් වුණා. මේ වැඩිහිටි යුවළ විතරක් නෙවෙයි පුතාගේ පවුලත් ගෙන්වාගෙන ඔවුන්ගේ යුගදිවියට අවශ්‍ය උපදේශන ලබාදෙන්නත් මම කටයුතු කළා. උපදේශනගෙන් පස්සේ ඒ පුතා බිරිඳ එක්ක වෙනත් නිවසකට ගිය බව තමයි මට පස්සේ ආරංචි වුණේ.’’
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි