නීත්‍යානුකූල බිරිඳටවත් ලිංගිකව හිරිහැර කරන්න අයිතියක් නෑ
‘‘මේ තුවාල ආවේ මම පාවිච්චි කරපු ක්‍රීම් වර්ගයක් විෂ වෙලා ඩොක්ටර්…’’
ලිංගාශ්‍රිත පෙදෙසේ වූ තුවාල කිහිපයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි යුවතියක ‘‘මේ තුවාල ආවේ කෙසේදැ’’යි මා ඇසූ පැනයට පිළිතුරු දුන්නේ එසේය.
නම් ගම් හෙළිකිරීම යුතු නැති නිසා මම ඇයව සුරනි නමින් හඳුන්වමි.
දුටු පමණින් ඒවා ස්වභාවික තුවාල නොවන බව පැහැදිලි වූ නිසා ඇත්තම කිව්වොත් ප්‍රතිකාර කිරීමට පහසු බව මම ඇයට පැවසුවෙමි.
ඉන්පසු සුරනි ඇගේ තුවාලවලට යටින් වූ වේදනාබර කතාන්දරය කියන්නට පටන්ගත්තේ දොස්තරට ලෙඩේ හංගා ඵලක් නැති බව අවබෝධ වූ නිසා විය යුතුය.
උසස් අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියාවක් සොයාගත් සුරනිගේ එකම සිහිනය වූයේ රැකියාවෙන් තව තවත් ඉහළට යාමයි. නමුත් ඇගේ ඒ සිහිනය වියැකී ගියේ දෙමාපියන්ගේ පෙරැත්තය මත හදිසියේම විවාහ වීමට සිදුවීමත් සමඟයි.
සුරනි ඒ මංගල්‍යයට කැමැත්ත දී තිබුණේ දෙමාපියන්ගේ සිත් රිදවීමට තිබුණු අකමැත්ත නිසාය.
‘‘කසාද බැඳලා සති දෙක තුනක් යද්දිම මට රස්සාවෙන් අස්වෙන්න කියලා බල කළා. බැඳලා මාසයක් යන්නත් කලින් කසාදේ කැඩෙයි කියන බයට මම රස්සාවෙන් අස් වුණා.’’
විවාහයෙන් මාසයක් දෙකක් යන තැන සුරනිට උද්වේගශීලී ලෙස බැණවැදීමටත්, ප්‍රචණ්ඩකාරීව පහරදීමටත් මේ පුද්ගලයා කටයුතු කර තිබිණි.
මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහු සුරනිගේ අකමැත්ත මැදම ඇයව අස්වාභාවික ලිංගික අත්හදාබැලීම්වලට ලක්කර තිබුණි. ඇගේ ලිංගේන්ද්‍රිය අවට වූ තුවාල සැමියා විසින් සිදුකළ පිළිස්සුම් තුවාල බව ඈ කීවේ වේදනාබරවය.
‘‘ඉතින් ඔයා මේ ගැන අම්මලාට කිව්වෙ නැද්ද?’’
‘‘කිව්වා ඩොක්ටර්… ‘කසාදේ කැඩුණොත් මුළු පරම්පරාවටම ලැජ්ජයිලු. ඒ නිසා බැඳගත්ත බෙරේ ගහන්නම වෙනවා’ කියලා තමා අම්මලා කියන්නේ.’’
මේ කරදර නිසා තමා වරක් දෙවරක් සියදිවි නසාගැනීමට පවා උත්සාහගත් බව ඈ කීවාය.
තමන්ගේම සැමියාගෙන් නැතිනම් සහකරුගේ අතින් බරපතළ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ප්‍රතිකාර ගැනීමට එන කාන්තාවන් දැන් පෙරට වඩා සුලබය. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු තම සහකරුගේ ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වේ.
එමෙන්ම ගෘහස්ත ප්රචණ්ඩත්වය වළක්වාගැනීමට නිසි උපකාර නොලැබෙන නිසා ඇතැම් කාන්තාවන් සියදිවි නසාගැනීමට පවා උත්සාහ කරනා බවත් කිව යුතුය.
2013-2015 කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ ඝාතන 243ක් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව තිබුණේ ඉන් 62%ක්ම සිදුකර තිබුණේ සැමියා, හිටපු සහකරු නැතහොත් පවුලේම සාමාජිකයෙකු විසින් බවයි.
ලංකාවේ සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය ඇතුළත මේ කුමන ආකාරයක හෝ ප්‍රචණ්ඩත්වයකට ලක්වී ඇත.
ලිංගික හිරිහැර කිරීම, පහරදීම, තුවාල කිරීම, ගබ්සා කිරීම මෙන්ම කාන්තාවක දරුණු ලෙස පාලනය කිරීම, අවමානයට, භීතියට ලක්කිරීම, ඥාති හිතමිතුරන් ආශ්‍රය සීමා කිරීම, ආදායම් මාර්ග අවහිර කිරීම, අසනීපයකදී ප්‍රතිකාර ගැනීමට ඉඩ නොදීම යන කරුණුද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඇතුළත් බව බොහෝදෙනා නොදැනුවත්ය.පීඩාවට පත්කරන තැනැත්තා සහ පීඩාවට ලක්වන තැනැත්තා අතර ඇති පෞද්ගලික සබඳතාවය, නෑදෑකම කුමක් වුවත් කෙනෙකුට තවත් අයෙකු පීඩාවට පත්කිරීමට කිසිඳු නෛතික හෝ සදාචාරාත්මක හිමිකමක් නැත.
එමෙන්ම විවාහක සැමියා වුවත් බිරිඳගේ අකමැත්තෙන් ඇය සමඟ ලිංගිකව එක්වන්නේ නම් එය විවාහක දූෂණයක් (Marital Rape) ලෙස සලකා දඬුවම් ලබාදිය හැකිය.
විවාහයක් බිඳවැටුණු පසු සමාජයෙන් එල්ලවන අයහපත් බලපෑම්වලට බියෙන් බැඳගත් බෙරය කෙසේ හෝ ගසාගත යුතු යැයි සිතනා කාන්තාවන්ද සුලබය.
එසේම දරුවන් වෙනුවෙන් සියලු කරදර ඉවසා සිටින බිරින්දෑවරුන්ද නැතුවාම නොවේ.
යම් දිනෙක ප්රාතිහාර්යකින් හෝ තම සහකරු ආදරණීය සැමියෙකු බවට පත්වෙතැයි සිහින දකිමින් වදවේදනා උහුලන අහිංසක බිරින්දෑවරුන්ද මේ අතර සිටියි. අධ්‍යාපන මට්ටමේ ගැටලු හෝ වෙනත් ගැටලු නිසා සැමියාගේ තාඩන පීඩන බිරිඳකට උරුමැයි සිතා ස්වකැමැත්තෙන් ඒවා දරාගන්නා අයද ඔය අතර ඇත.
යමෙකු තම බිරිඳව, සහකාරියව ලිංගික ප්‍රචණ්ඩත්යට පත් කිරීමට බලපාන හේතු ලෙස අඩු අධ්‍යාපනය, මානසික රෝග තත්ත්වයකින් පෙළීම, මත්ද්‍රව්‍ය භාවිතය, කුඩා කළ මානසික, කායික අපයෝජනයන්ට ලක්ව තිබීම නැතහොත් කාන්තාව හුදෙක් ලිංගික වස්තුවක් ලෙස දැකීම යන කරුණු පෙන්වා දිය හැකියි.
තමා විවාහ වීමට යන පුද්ගලයා තමාව ප්‍රචණ්ඩත්වයට හෝ අනවශ්‍ය සීමා කිරීමකට ලක්කරයි නම් උපක්‍රමශීලී ලෙස එවැනි සබඳතාවලින් ඉවත් වීමට ඔබ දක්ෂ විය යුතුය.
විවාහයෙන් පසු වුවත් මෙවැනි දුෂ්කර සබඳතා තුළ සිරගත වී විඳවීමට අවශ්‍ය නැති අතර පළමුවෙන් තමාගේ සහකරුට නිසි උපදේශනයකට යොමු කර එයිනුත් තත්ත්වය නොවෙනස්වේ නම් ඒ අදාළ පියවර වෙත යොමු වීමට ඔබට හැකිය. එමෙන්ම තමාගේ දියණියක මෙවැනි විෂ සබඳතාවලින් පීඩා විඳින්නේ නම් ඔවුන්ව එම සබඳතාවලින් මුදවාගැනීම දෙමාපියන්ගේද වගකීමයි.
කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය කිසිඳු අයුරකින් සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු අතර කාන්තාවකට ගරු කරන කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වන සමාජයක් උදෙසා කුඩා කාලයේදීම තම පුතුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දෙමාපියන්ගේ වගකීමයි.
සහකරුගෙන් සිදුවන ලිංගික/කායික හිංසනය කාන්තා ඔබගේ හිමිකම යැයි සිතා තනිව විඳවිය යුතු නැත. එවන් දේට ක්ෂණික උපකාර නොපතන්නේ නම් ඔබේ නිවසේදීම ඔබගේ ජීවිතය අහිමිවීමට පවා ඉඩ ඇත.
එසේම ලිංගික හිංසනයක් සිදුවූයේ නම් ළඟම ඇති රජයේ රෝහලේ ප්‍රසව හා නාරිවේද වාට්ටුවටද, කායික හිරිහැරයක් නම් සාමාන්‍ය කාන්තා වාට්ටුවකටද ඇතුළත් වීමෙන් ඔබේ පැමිණිල්ල සළකා බලා ඒ අවශ්‍ය ප්‍රතිකාර සහ නෛතික කටයුතු සම්පාදනය කෙරෙනු ඇත.
එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තා හා ළමා කාර්යාංශයටද පැමිණිලි කිරීමට හැකියාව ඇත. එසේම උපකාර අවැසි මොහොතක තමාට ලැබුණු මිනිසත්බව සියතින්ම හැරයාමට උත්සාහ නොගෙන 1926 (ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව) 1938 (කාන්තා උපකාරක දුරකතන සේවාව) යන අංක අමතා ක්ෂණික උපකාර ලබාගත හැකිය.
නිවස තුළ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් පැවතීමේ ප්රතිවිපාකය ඒ නිවසට පමණක් නොවේ සමස්ත සමාජයටම බලපානු ලබයි. කාන්තාවන්ට, බිරිඳට ගරු කරන ආදරණීය සබඳතා මගින් යහපත් පවුලක් මෙන්ම ගුණගරුක සමාජයක් ද බිහිකළ හැකියි.
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
I.L.ජයවීර
MBBS.PG.Diploma, MD (Venereology)
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන
සෙව්වන්දි හෙට්ටිආරච්චි