විශේෂාංග

Google එකේ SEX ගැන හොයලා මේ පාරත් අපි ලෝකෙන්ම එක

මේ වසරේත් ගූගල් සෙවුම් යන්ත්‍රය (Google Search Engine) තුළ SEX යන වචනය ඔස්සේ සෙවීම් සිදුකර ශ්‍රී ලංකාව ලෝකයේ අංක එක වී ඇති බව Google Trends වෙබ් අඩවිය කියයි. 2016 වසරේ පටන් පිට පිටම තුන් වතාවක් ලංකාව ලෝකයේ අන් සියලු රටවල් පරදා මේ කප් එක ඉස්සුවේය. ඒ අතරිනුත් මේ සෙවුම් සම්බන්ධව සළකා බලනවිට හෝමාගම නගරය ලෝකයේ සියලු නගර අතරින් සිව්වැනි තැනට පත්ව ඇත. කෙසේ නමුත් තුන්වැනි ලෝකයේ රටක් වශයෙන් ඉදිරියට යාමට තවත් බොහෝ අංශ තිබියදී SEX යන වචනය සොයා ලෝකෙන්ම අංක එක වීම තුළ ලෝකයට අප, අප පිළිබඳව ලබාදෙන පණිවුඩය එතරම් සුබවාදී එකක් නොවේ. තරුණ ලේඛකයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකුද වන රසික ජයකොඩි මහතා මේ කතා කරන්නේ ඒ පිළිබඳවය.

01.ඇත්තටම SEX කියන්නේ එළිපිට කතා කරන්න බැරි මාතෘකාවක්ද?

එහෙම නෑ. ඕනම දෙයක් හිතේ හිරකරන් ඉද්දි ඒක පීඩනයක් බවට පත්වෙනවා. ඒ විදියට ගොඩක් දේවල් හිතේ හිරකරන් ඉන්න නිසානේ මිනිස්සුන්ට මෙච්චර Depression නැත්නම් මානසික ආතතිය කියන එක තියෙන්නෙ. SEX කියන කාරණාවටත් මේක පොදුයි. මිනිස්සු හිතනවා ලිංගිකත්වය පිළිබඳව එළිපිට කතා කරන එක හරි අසික්ෂිත, නැහැදිච්ච, ලැජ්ජාසහගත වැඩක් කියලා. ඒ නිසා ලිංගිකත්වය සම්බන්ධ කරණාවලදී විවෘතව කතා කරගන්න බැරුව මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනේකින්. වීඩියෝ එකක් ලීක් වුණා කිව්ව ගමන් අනිත් ඔක්කොම පැත්තක තියලා ඒක share කරගන්නෙ, ඒක ගැන කතා වෙන්නෙ ඒකනේ. එහෙම වෙලාවට තමයි හිත්වල හිරකරගෙන ඉන්න පීඩනය එළිපිටම පිට කරන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලැබෙන්නෙ. ඕකට අපි කියනවා සාමූහික ලිංගික පීඩනය කියලා.

02.මෙවරත් අන්තර්ජාලයේ SEX කියන වචනය හොයලා ලංකාව ලෝකෙන්ම එක වීම ගැන මොකද හිතෙන්නෙ?

ඒකෙන්ම තේරෙනවානේ මිනිස්සු මේ ගැන කොච්චර කුතුහලයකද ඉන්නේ කියලා. කුතුහලය තියෙන ඕනම දෙයක් ගැන, කාගෙන් හරි අහල දැනගන්න බැරි ඕනම දෙයක් ගැන මිනිස්සු ගිහින් search කරන්නෙ Google එකේ. SEX කියන්නෙත් එහෙම එකක්. පාසල් මට්ටමින් දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. හැබැයි උදේ හවස ටීවී එකේ, පත්තරවල, සෝෂල් මීඩියාවල ලිංගික අපයෝජන ගැන, ලිංගික අල්ලස් ගැන කතා වෙනවා. එතකොට විශේෂයෙන්ම වැඩෙන දරුවන්ට මේ ලිංගිකත්වය කියන වචනය ඇහෙනවා සහ පේනවා. හැබැයි බැරිවෙලාවත් මේක අම්මගෙන්, තාත්තගෙන් හෝ ගුරුවරයෙක්ගෙන් අහන්න දරුවො බයයි. මං ඉපදුණේ කොහොමද කියලා දරුවෙක් අහද්දි, රෝස කැලෙන් ගෙනාවා කියලා උත්තර දෙන සමාජයකනේ අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට Google එකට ගිහින්හරි මේක ගැන හොයන්න හිතෙනවා. ඒ නිසා ලෝකෙන්ම අංක එක වුණා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

03.ඔබ හිතන්නේ මේ සම්බන්ධව හොයන්න උනන්දු කොයි වගේ වයස් පරතරවල අයද?

ඒක මට හරියටම කියන්න අමාරුයි. ලොකු, පොඩි, ගෑනු, පිරිමි හැමෝම ඒකට දායක වෙලා ඇති. දැන් අපි කතාවෙනවා කොයි වයසේ අයද, කොයි පළාතේ අයද, ගෑනුද, පිරිමිද ලංකාව ලෝකෙන්ම එක කළේ කියලා. මං නම් කියන්නේ බුලත් මඩිස්සලේට හෙණ ගැහුවට පස්සේ හුණුකිල්ලෝටෙට වෙන දේ ගැන ආයෙත් අහන්න දෙයක් නෑ.

04.ලංකාවේ මිනිස්සු අන්තර්ජාලයේ කෙළින්ම SEX කියලා සර්ච් කරන්නේ ඒ ගැන අවබෝධයක් නැති හින්දද?මෙහෙමයි. ගොඩක් දෙනෙක් SEX කියලා Search කරන්නෙ තවත් කෙනෙක්ගෙ ලිංගික හැසිරීමක් බලාගන්න තියෙන කැමැත්ත හෝ කුතුහලය නිසා. නිල් චිත්‍රපට හෝ අසභ්‍ය වීඩියෝ දර්ශන මිනිස්සු අතර හුවමාරු වෙන්නෙත් මේ නිසා. ඇත්තටම අද ගත්තොත් තත්ත්වය, තරාතිරම නොතකා බහුතරයක් පිරිමින්ගේ ෆෝන්වල මේ වීඩියෝ දර්ශන හුවමාරු කරගැනීම සඳහාම හැදිච්ච වට්ස්ඇප් ගෲප් තියෙනවා. ඉතින් එහෙමත් නැති, ඒවා හොයාගන්නත් බැරි පිරිස දෙපාරක් හිතෙන්නේ නැතුව Google එකට ගිහින් SEX කියලා ටයිප් කරලා Search කරනවා. ඇත්තටම ඒකෙන් පේන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපන මට්ටමේ තරම. මොකද තමන්ට බලන්න අවශ්‍ය දේ තියෙන වෙබ්සයිට් එකකට ගිහින් ඒක බලන්නවත් තේරෙන්නෙ නෑ කියන එක තමයි අපිට හිතන්න වෙන්නෙ.

05.ලංකාවේ අපට මෙච්චරටම SEX මැජික් එකක් වුණේ හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති හින්දා කියලා කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙදි පාසල් ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට කෙළින්ම ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද?

ඒ හැමෝම මේ ලොකු අවුලේ පොඩි කොටසක් විතරයි. එයාලා ඔක්කෝම මේ සමාජයේම මිනිස්සු නිසා එයාලත් SEX ගැන එළිපිට කතා කරන්න බයයි.

  1. පිරිමි පාසල්, ගැහැනු පාසල් කියන සංකල්පයත් මේකට හේතුවක්ද?

ඒක නූතන සමාජයට නොගැළපෙන යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක්. ගැහැනු පිරිමි කියලා වෙන වෙනම උගන්නන්න අවශ්‍ය නෑ කියන තැන මං ඉන්නවා. එහෙම ඉගෙනගන්න පිරිමි ළමයි අවුරුදු දහඅටක් දහනවයක් වෙනකල් ගෑනු ළමයෙක් එක්ක ගණුදෙනුවක් නෑ. ගෑනු ළමයින්ට පිරිමි ළමයෙක් එක්ක ගණුදෙනුවක් නෑ. ඉතින් ඒ ගණුදෙනුව ඇතිවෙනකල් ඒ වගේ නව යොවුන් දරුවො ජීවත් වෙන්නෙ මං කලින් කියපු විදියෙ සාමූහික ලිංගික පීඩනයකින්.

07.තවදුරටත් SEX මැජික් එකක් කියන තැනින් ලංකාව ගලවගන්නේ කොහොමද?

මං හිතනවා සෑම දරුවෙක්ටම වයස අවුරුදු අට නවය වෙනකොට ඔවුන්ගේ මට්ටමින් ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒක කරන්න යද්දි බාධා එනවා. දැක්කනේ ‘හතේ අපේ පොත’ට වුණේ මොකක්ද කියලා. ආගමික නායකයෝ පවා ඒකට බාධා කළා. මං හිතන්නේ අපි ඒ වෙනුවෙන් අභියෝග කරන්න ඕනේ. සාමූහිකව එකතුවෙලා අභියෝග කරන්න ඕනේ. ලෝකයේ අද සමලිංගිකත්වය පිළිගන්නේ ඒක අහියෝගයට ලක්කරපු නිසයි. මෙතැනදි බයවෙලා බෑ. මෙච්චර දවසක් එහෙම බයවුණු හින්දයි අපි මේ කප් ගහලා තියෙන්නේ. ඒ කප් එක ලෝබකමක් නැතුව වෙන රටකට දෙන්න නම් තවදුරටත් සමාජයේ ලිංගිකත්වය කියන එක මැජික් එකක් කරගෙන බෑ.

08.මාධ්‍යට මේක කරන්න පුළුවන් කියලා හිතනවද?

මාධ්‍ය අස්සේ ඉන්නෙත් සමාජයේම මිනිස්සු කොටසක්නේ. අමුතු අය නෑ. හැබැයි මාධ්‍යයට පුළුවන් කැමති නම් අභියෝග කරන්න. ඒත් එහෙම කරන්නේ නෑ. මොකද එළියෙන් බැණුම් අහන්න වෙයි කියලා බයයි. ඒත් බැණුම් අහන්න බලාගෙන හරි අභියෝග කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් ගොඩඑන්න බෑ.

රුවන් එස්.සෙනවිරත්න