විශේෂාංග

කුලගෙයක් ගිනිගෙයක් වෙන්න එක බොරුවක් හොඳටම ඇති

‘‘ඔයා කැම්පස් යන කාලෙවත් කාත් එක්කවත් යාළු වුණේ නැද්ද?’’

නිර්මල එසේ ඇසුවේ සුබාගෙන් ඇසීමට වෙනත් යමක් ඒ මොහො​තේ කල්පනා නොවූ නිසාය.

‘‘අනේ නැහැ…. මම කැම්පස් ගියේ ඉගෙනගන්න මිසක් ඕවා කරන්න නෙමේ’’

සිහනවක් අතරින්ම සුබා පිළිතුරු දුන්නාය.

වෙනදා බලන්නට ගිය මනාලියන් මෙන් නොව සුබාගේ මොකද්දෝ අමුතු සිරියාවක් තිබෙන බව නිර්මලට දැනුණේ ඇය බුලත් හෙප්පුව ඇල්ලූ මොහොතේදීමය. මනමාලිය බලා ආපහු යන ගමනේදී ‘‘ඒ ගෑනු දැරිවි කොහොමද පුතේ?’’ යැයි මව ඇසූ කල තමා​ගේ අකමැත්තක් නැතැයි නිර්මල කීවේ ඒ නිසාය.

මඟුල් තුලා කතා කර මාස හය හතක් ගතවීමටත් පෙර ජයට මගුල් කෑ මේ දෙපළ සුබාගේ මාපියන් ඔවුන්ටම කියා වෙන්කළ නිවසේ පදිංචි වූහ.

විවාහයෙන් පසු ස්ව කැමැත්තෙන්ම රැකියාවෙන් ඉවත් වූ සුබා නිවසේ වැඩකටයුතු යහමින් කළමනාකරණය කරන අතරම නිර්මලගේ ව්‍යාපාර කටයුතුවලටද හැකි ලෙස උදපදව් කළාය.

ඔය අතර නිර්මල වේලපහ පැමිණි දිනෙක සුබා නිවසේ නොසිටියාය. වෙනදා මෙන් යන තැනක් දුරකතනයෙන්වත් නොකී නිසාත්, නැවත පැමිණීමට පැය කිහිපයක්ම ගතවූ නිසාත් සුබා ගෙට ගොඩවූ හැටි​යේ ‘‘කොහෙද ඔයා ගියේ?’’ කියා අසන්නට ඔහු ඉක්මන් වූවේය.

‘‘මම…. මේමේ මළගෙදරක ගියා.’’

‘‘කාගෙද? අයියෝ ඉතින් කිව්වනම් මාත් එනවනේ.’’

ඉන්පසු සුබා ලබාදුන් සියලු පිළිතුරු විශ්වාස කළ නිර්මල ඒ කතාව එතැනින් අහවර කර දැමුවේය.

සුබාගේ සිරුරේ යම් ආසාදන තත්ත්වක් හටගෙන ඇති බව නිර්මල දුටුවේ එකී සිදුවීමෙන් මාස දෙකකට පමණ පසුය.

‘‘මේ මොකද?’’ යැයි එවලේ ඔහු ඇසූ විට සුබා කීවේ ‘‘මේ කාපු දෙයක් විස වෙලා වෙන්න ඇති, හෙට අනින්දා වෙනකොට මේක ඉබේටම ඇරිලා යයි’’ කියාය.

නමුත් මාස කිහිපයක් ගතවෙද්දී සුබාගේ අසනීප තත්ත්වය වැඩි වූවා මිසක් අඩුවූයේ නැත. දන්නා සියලු භාෂාවලින් අයැද සිටියද සුබා නොවේ ප්‍රතිකාරවලට ගියේ. එහෙත් වෛද්‍යවරයෙකු වෙත යාම තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට සුබා අපොහොසත් වූයේ නිර්මලගේ සිරුරෙත් යම් ආසාදනයක රෝග ලක්ෂණ පහල වූ නිසාය.

සුබාට මෙන්ම නිර්මලටත් යම් ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇති බව වෛද්‍යවරයා තහවුරු කළේ ඉන්පසුවයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ මුල් කාලේදීම නිසි ප්‍රතිකාර නොලැබුණු නිසා ඒ වනවිටත් සුබා සිටියේ රෝග අදියර දෙක තුනකින් මෙහාය.

තමා කැම්පස් යන අවදියේදී හාදකමක් පැවැත්වූ අයෙක් නිසා තමාට එම රෝගය වැළඳුනු බව සුබා නිර්මලට කීවේ මහහඬින් හඬා වැළපෙමිනි.

‘‘ඔවුන්ගේ රෝගයට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා තමයි මේ දෙපළව මගේ ළඟට එවලා තිබුණේ. මෙවැනි රෝග තත්ත්වක් තියෙනවා කියන එක විවාහ වෙන්න කලින් ඉඳලම සුබා දැනගෙන ඉඳලා තියෙනවා. ගෙදරටත් නිර්මලටත් ඒ කාරණාව වසං කරලා බොරු කියලා තමයි ඇය මේ විවාහය කරගෙන තිබුණේ. විවාහයෙන් පස්සේ රෝග ලක්ෂණ මතුවුණාම ඇය වරක් දෙවරක් ප්‍රතිකාරවලට ගිහින් තියෙනවා. ඒත් නිර්මලට ඒක අහුවෙයි කියන බය නිසා ඒ ගමනත් එහෙමම නතර කරලා දැම්මලු.

ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුතෝ

විතිණ්ණපරලෝකස්ස නත්ථි පාපං අකාරියං

කියලා බුදුහාමුදුරුවෝත් දේශනා කරලා තියෙනවානේ. ඒ කියන්නෙ බොරු කියන්න පුරුදු වෙච්ච පුද්ගලයාට කළ නොහැකි පවක් නැහැ කියන එක.

බොරුවක් කියනවා කියන්නෙම වංචාසහගත අරමුණකින් ඇත්ත හංගනවා කියන එකට. හැබැයි යහපත් අරමුණකින් කියන බොරුත් තියෙනවා. ඒවට තමයි කට වචනෙට අපි සුදු බොරුකියලා කියන්​නේ. හිතන්නකෝ බිරිඳ හදන කෑමක් රස නැති වුණත් ඇයගේ හිත රිද්දන්න තියෙන අකමැත්ත නිසා ඒක රහයි කියන එක, එතකොට උපන්දිනේ දවසේ සැමියාව පුදුම කරන්න හිතාගෙන ඔහුට බොරු කියන එක ඒ වර්ගයේ බොරු කියලා කියන්න පුළුවන්.

වංචාවෙන් අනිත් කෙනාව රවට්ටන්න හිතාගෙන කියන බොරු විතරක් නෙමේ අහේතුක බය නිසා බොරු කියන අයත් ඉන්නවා. බොරු කිව්වේ ඇයි කියලා මේ බිරිඳගෙන් ඇහුවම ඇය කිව්වෙත් ඔහු ඇයව විවාහ කරගන්න එකක් නැතිවෙයි කියන බය නිසා බොරු කිව්වා කියන එකයි.

ප්‍රශ්නයක් වුණහම බොරුවෙන් ප්‍රශ්න යටගහන්න යන්නේ නැතිව කොන්ද කෙළින් තියාගෙන ඒ ප්‍රශ්නේ විසඳගන්න එක තමයි හපන්කම. අනික තමන්ගේ අතීතය ගැන ඇත්ත කිව්වම ඒ කෙනා ඔබව අතඇරලා දානවානම් කරන්න තියෙන්නෙ එහෙම කෙනෙක්ගෙන් ගැලවෙන්න ලැබුණු එක ගැන හිතලා සතුටු වෙන එක. හැබැයි ඇත්ත කිව්ව හැටියේ යක්ෂාරූඪෙන් වගේ ඇඟට කඩාපනින සැමියන් බිරින්දෑවරුන් එහෙමත් ඉන්නවා. හොඳම දේ තමයි ඔක්කොටම කලින් ඒ අයව නිසි උපදේශනයකට යොමු කරන එක.

සැමියාව බිරිඳව රවට්ටන්න බොරු කියලා පස්සේ සංකීර්ණ පවුල් ආරවුල් ඇති කරගන්නා උදවිය ඕනතරම් මට මුණගැහිලා තියෙනවා.

විවාහක දෙදෙනාගේ බැඳීම ශක්තිමක් කරන ප්‍රධානම සාධකය තමයි විශ්වාසය. බොරුව කියන දේ දෙන්නෙක් අතර තියෙන විශ්වාසය පළුදු වෙන්න හේතු වෙනවා. ඒ බිඳෙන විශ්වාසයත් හරියට වීදුරුවක් වගේ තමයි. මොන ජාතියේ ගම් වර්ගයක් ගාලා ඇලෙව්වත් ආයෙ තිබ්බ විදියටම නම් හදන්න බැහැ.

අනික එක බොරුවක් කියන කෙනෙක්ට ඒක වහන්න බොරු සීයක් කියන්න වෙනවා. ඒවගේම තමයි සමහරුන්ට එක පාරක් කිව්ව බොරුව ඊටපස්සේ මතකත් නැහැ. පස්සේ කරන්නේ ඉතින් පරස්පරවිරෝධී දේවල් කියන එකයි.

තමන්ගේ බිරිඳ හෝ සැමියා නිතර නිතර ඔය වගේ පරස්පරවිරෝධී කතා කියන්න ගියාම හිතේ සැකයක් උපදින එකේ වරදකුත් නැහැ. නමුත් ඒකෙන් වෙන්නෙ ඒ සැකය පිළිලයක් වගේ උඩුදුවලා දෙන්නා දෙමහල්ලන්ගේ ලස්සන කුල ගේ ගිනිගෙයක් වෙන එකයි.

අනික තමයි ඔය බොරු කරන, කියන බොහෝඅය හිතනවා අනිත් අයත් මං වගේම ඇති කියලා. එතකොට ඒ අය විසින් අනිත් අයවත් නිස්කාරණේ සැක කරන්න බැරි නැහැ.

මේ කිව් කාරණාවලට අමතරව විනෝදයක් විදිහට බොරු කියලා යම් තෘප්තියක් ලබන උදවියත් ඉන්නවා. ඒ විතරක් නෙමේ තමන් ඉන්න තත්ත්වය ගැන සතුටු නැත්නම් ඒ දේවල් සමාජෙන් වසන් කරන්න බොරු කරන අයත් බහුලයි. කොහොම වුණත් බොරු කියන එක මානසික ව්‍යාධියක් දක්වා වුණත් දිගඇදෙන්න පුළුවන් දෙයක්. අනික ඔය කියන බොරු නිසා දවසක නැති කරදර ඇතිවෙන්න පුළුවන්. නිසා හොඳම දේ තමයි කාටවත් ​​බොරු නොකියා ඉන්න එක. ඒ වගේම තමන්ගේ සමීපතමයෙක් නිතරම ගල් පැලෙන බොරු කියනවා කියලා තේරෙනවා නම් ඔහුව හෝ ඇයව නිසි උපදේශනයකට යොමු කරන්න අමතක කරන්නත් එපා.’’

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා

රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි