විශේෂාංග

අසනීප හංගන එක හොඳටම කළේ අම්මලා!

සුසන්තාට දැන් ටික කාලෙක ඉඳලා ඇඟට ලොකු වෙනසක් දැනෙනවා. මේ අලුත් වෙනස සුසන්තාට ලොකු වදයක්.

‘‘අම්මී, මගේ සපත්තු දෙක කෝ?’’ සුසන්තා පියවි සිහියට ආවේ දියණියගේ හඬින්.

‘‘දූ මම ඒක තියලා ඇති දොර පිටිපස්සෙ. හෝදලා වේලලා ගෙට ගත්තට මොකද රැක් එකෙන් තියන්න අමතක වුණා.’’ කියපු සුසන්තා ලහි ලහියේ කෑම ටික පිඟන්වලට බෙදුවා.

‘‘බබා, ඔන්න මම නම් ලෑස්ති වෙලා ඉවරයි.’’ සුසන්තාගේ සැමියා මහිල් එහෙම කියාගෙන ඇවිත් කෑම මේසයෙන් වාඩි වුණා.

‘‘දූ ඉක්මණට එන්න කෑම කන්න. ඔන්න තාත්ති නම් ආවා.’’ කියන ගමන් සුසන්තා මහිල්ගේ කෑම පිඟාන ඔහු ළඟින් තිබ්බා.

ඊටත් පස්සෙ සුසන්තා දියණියගෙයි, සැමියාගෙයි කෑම පෙට්ටිවලට කෑම බෙදන්න පටන් ගත්තා. ඒවා ලස්සනට සර්වියට්වල ඔතපු සුසන්තා ලස්සනට හිනා වුණා.

‘‘අම්මී ඔයත් එන්නකෝ අපි එක්ක කන්න.’’ එහෙම කියාගෙන දියණිය මේසය ගාවින් වාඩි වුණා.

‘‘ඔයාලා කන්නකෝ.’’ සුසන්තා කිව්වේ ආදරණීය හඬකින්.

‘‘දැන් ටික කාලෙක ඉඳන් අම්මි අපි එක්ක කන්න එන්නේ නැහැ. නේද තාත්තී?’’ දියණිය කිව්වේ නෝක්කාඩු හඬකින්.

‘‘ඒකනේ සුසන්තා. මට මේ ටිකේ වැඩ වැඩි නිසා අහන්නත් බැරි වුණා තමයි. හැබැයි මට ඕක තේරුණා. මොකද වෙලා තියෙන්නේ?’’ මහිල් ඇහුවේ සැකයෙන් වගේ.

‘‘මට දාඩියයි අනේ. වොෂ් එකක් දාලම කන්න ඕනෙ. අනිත් එක ඔයාලා කද්දි මගේ බඩ කොහොමත් පිරෙනවනේ.’’ සුසන්තා උත්තර දුන්නේ අහක බලාගෙන.

‘‘ඒක නෙවෙයි දූ. දැන් සාමාන්‍ය පෙළ විභාගයත් කිට්ටුයි නේද? ඔන්න තව මාස හතරයි තියෙන්නේ හොඳේ. වැඩ කරන්න ඕනෙ හොඳට. හරිද?’’ ඒ අතරේ මහිල් කිව්වේ දියණිය දිහාවට හැරෙමින්.

‘‘අනේ ඔව්. කෙල්ල විභාගේ කරගන්න එක තමයි මගෙත් ලොකුම හීනය. මේ හැම දුකක්ම එතකම් විතරයිනේ.’’ සුසන්තා හිතුවා විතරයි. කියන්න ගියේ නැහැ.

‘‘මහිල්, ඔයාගේ ප්‍රමෝෂන් එකේ තත්ත්වේ කොහොමද?’’ සුසන්තා ඇහුවේ ඊටත් පස්සෙ.

‘‘මට ළඟදිම ප්‍රමෝෂන් එක ලැබෙයි. ඒකනේ මම මේ ප්‍රොජෙක්ට් එක ගොඩ දාගන්න මෙච්චර මහන්සි වෙන්නේ මෙදා සැරේ.’’ මහිල් කිව්වේ උනන්දුවෙන්.

දුවයි, තාත්තයි පිටත් වුණාට පස්සේ සුසන්තා මේසයට වාඩිවෙලා ඉක්මණින්ම කෑම බෙදාගත්තා. මොකද සුසන්තා හිටියේ හරිම බඩගින්නෙන්. වෙනදාට සුසන්තා උදේ නැගිටපු ගමන් කිරි එකක් බොනවා. ඊටත් පස්සෙ මහිල්ලා කන වෙලාවටම උදේ කෑම එකත් ගන්නවා. ඒත් දැන් එහෙම කරන්න විදිහක් නෑනේ.

සුසන්තා හරි ඉක්මණට කෑම ගත්තා. බත් පිඟාන කාලා ඉවර වුණෙත් නැහැ. සුසන්තාට බඩ ඇතුළේ ලොකු පෙරලියක් වෙන බව දැනෙන්න ගත්තා. පිඟාන හෝදන්නවත් වෙලා නොගත්තු සුසන්තා කෙලින්ම දිව්වේ වැසිකිළියට.

‘‘මොන කරුමයක්ද මේ? බත් කටක් කන්න බැහැ ඊළඟ මොහොතේ ටොයිලට් යන්න ඕනෙ වෙනවා. තේ එකක්වත් බොන්න නැහැ සැනසීමේ.’’ දෑසට නැගුනු කඳුළු පිස දමමින් ඇවිත් සුසන්තා ඇඳේ වැතිරුණා.

‘‘කෙල්ලගේ විභාගය ඉවර වෙනකම් මේ ගැන කට හොල්ලන්න හොඳ නැහැ. මේ මාස හතර කොහොම හරි අමාරුවෙන් ඉවසගෙන ඉන්න ඕනෙ. අනිත් එක මහිල්ගේ ප්‍රොජෙක්ට් එක. ඒවත් අවුල් වෙයි මම ඉස්පිරිතාල ගානේ යන්න පටන් ගත්තොත්.’’ හිතින් හිතපු සුසන්තා එහෙමම නින්දට වැටුණා.

මේ විදිහට සුසන්තා හැමවෙලාවෙම පවුලේ අය එක්ක කෑම ගන්න එක මඟ අරින්න පටන් ගත්තා.

දුවගේ විභාගය ඉවර වෙලා තවත් සති දෙකකට පස්සෙ තමයි මහිල්ගේ ප්‍රමෝෂන් එකත් ලැබුණේ.

තමන් මෙච්චර කල් විඳපු අපහසුතාවය ගැන සුසන්තා කිව්වම මහිල් ඔලුවේ අත ගහගත්තා.

ඊළඟ දවසෙම සුසන්තාව රෝහලට එක්කගෙන යන්නත් මහිල් පසුබට වුණේ නැහැ.

‘‘මේ තත්ත්වය දැනෙන්න අරගත්තේ ළඟදි වෙන්න නම් බැහැ. මේක දරුණු විදිහට පැතිරුණු බඩවැල් පිළිකාවක්. මේ ලක්ෂණ දැනෙන්න පටන් ගත්තු කාලේදී ආවා නම් බලාපොරොත්තුවක් තියාගන්න තිබ්බා.’’ වෛද්‍යවරයා එහෙම කිව්වේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පස්සේ.

‘‘අනේ ඩොක්ටර්, මම මේ අමාරුකම් ඉවසගෙන හිටියේ දරුවගේ විභාගය ඉවර වෙනකම්.’’ සුසන්තා කිව්වේ හැඬූ කඳුළින්.

‘‘ගොඩක් අම්මලා තමන්ගේ අමාරුකම් හංගනවා. දරුවන්ට, පවුලේ අනිත් අයට ඒකෙන් බලපෑමක්, පාඩුවක් වෙයි කියලා බය වෙනවා. ඒත් බෙහෙත් නොගෙන ඉඳලා තත්ත්වය බරපතළ වුණාම පවුලේ අයට ඒක ඊටත් වඩා දරුණු විදිහට බලපානවා.’’ වෛද්‍යවරයා කිව්වේ සංවේගයෙන්.

සමාධි ඩයස්