විශේෂාංග

සිරිමා බෝ ස්වාමිනි මට ඉංග්‍රීසි කතා කරන පුතෙක් දෙන්නයි

දරුපැටියෙක් කුසට එන්නට පෙරාතුව බොහෝ මව්වරුන් සිරිමා බෝ හාමුදුරුවෝ ළඟ හෝ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහ සෑ රදුන් අභියස වැඳ වැටී ඉල්ලා සිටියේ දිව්‍යලෝකයේ ආයුෂ හමාර කර මනුලොවට එන්නට බලාසිටින පිනැති දෙව්පුතුන් සිටීනම් තම කුසට වඩින ලෙසය. ඒ දරුවෙකුට මෙලොවදී උරුම කර දිය හැකි ලොකුම ධනය තුණුරුවන් කෙරේ පවතින ශ්‍රද්ධාව බව අම්මලා විශ්වාස කළ නිසා විය යුතුය. එකල අම්මලා එහෙම වුණත් මෙකල බොහෝ අම්මලාගේ ප්‍රාර්ථනාවනුත් කල්ක්‍රියාවනුත් ඊට වඩා හාත්පසින් වෙනස් වී ඇති බවක් පෙනේ.

ඒ නිසා දරුවා කුසට ආ බව දැනගත් මොහොතේ පටන් දැන් දැන් බොහෝ අම්මලා අහන්නේ ඉංගිරීසි සින්දුය. කියවන්නේද ඉංගිරීසි පොතපතය. එක අතකට අම්මලාට ඒ සම්බන්ධයෙන් දොස් නගා ඵලක් නැති බව වැටහෙන්නේ වර්තමාන සමාජය දෙස බලන විටය. මව්භාෂාව කෙසේ වෙතත් ඉංග්‍රීසි බැරිනම් දරුවෙකුට තියා කාටවත් හිස කෙළින් තියාගෙන ගමනක් යා නොහැකි බව පැවසෙන තත්ත්වයකි උදා වී ඇත්තේ.

නමුත් දරුවෙක් මව්භාෂාවෙන් ඈත් කිරීමේ ප්‍රතිඵලය ලෙස එම දරුවා මානසික පීඩාවට බඳුන් වන බව බොහෝ වැඩිහිටියන් දන්නේ නැත. මනෝ උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතා සිදුකරන මේ පැහැදිලි කිරීම ඒ පිළිබඳවය.

‘‘සිංහල අකුරු අඳුනගන්න සහ ලියන්න බැරි පුතෙක් දවසක් මගේ සායනයට ආවා. හැබැයි දරුවට යම්තාක් දුරට ඉංග්‍රීසි ලියන්න කියවන්න පුළුවන්. ඒකත් ඉතින් හොඳටම නෙවෙයි. එතකොට ඒ දරුවා හිටියේ 7 වසරේ.

මේ උදවියගේ පවුලේ තිබුණේ ඉංග්‍රීසි වටපිටාවක් සහිත පරිසරයක් එහෙම නෙවෙයි. හැබැයි මේ අම්මා මේ දරුවව ඉංග්‍රීසියෙන් පමණක් උගන්වන පෙරපාසලකට යවලා. මුල් ළමාවියෙන් පස්සේ දරුවව සිංහල මාධ්‍යයෙන් උගන්වන සිංහල පාසලකට ඇතුළත් කරලා. එතැනදී භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා අනිත් දරුවො අතර මේ දරුවා ටිකක් අපහසුතාවයට පත්වෙලා තියෙනවා. මොකද ඒ දරුවට සිංහලත් බෑ. හරියට ඉංග්‍රීසි භාෂාවත් බෑ. ඒ නිසා මේ දරුවා දන්න වචන ටික කතා කරන්නත් බය වෙලයි හිටියේ.

පස්සෙ චිකිත්සක ක්‍රමවේද කිහිපයක් මගින් භාෂා භාවිතය ගැන දරුවගේ හිතේ තිබුණු බය නැති කරන්න මට පුළුවන් වුණා.

‘‘මේ ඇන්ටිට අර ඉංග්‍රීසි සිංදුව කියලා පෙන්නන්න පුතා.’’

දරුවට ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්වන්න ගොඩක් අම්මලා අන්න ඒ වගේ උත්සාහ කරන අවස්ථා ඔබත් දැකලා ඇති. එහෙම වෙලාවක අර දරුවට සිංදුව කියාගන්න බැරි වුණොත් දරුවට දඬුවම් කරන්න යනවා. මේ වගේ දෙවල් ඒ මො​හොතේ සිද්ධවෙන සරල සිදුවීම් විදියට හිතන්න එපා. දෙමව්පියන්ගේ මේ වගේ එක හැසිරීමකින් දරුවෙක්ගේ මුළු පෞරුෂයම වුණත් මරලා දන්න පුළුවන්. භාෂාවක් කියන්නේ අදහස් හුවමාරු කරගන්න අපි භාවිතා කරන මෙවලමක්. රට, ආගම, සංස්කෘතිය වගේ දේවල් එක්ක එකිනෙකාගේ භාෂාවන් වෙනස් වෙනවා. ඒ වගේම කිසිම භාෂාවක් ඊට ආවේණික ආගම, සංස්කෘතිය, සාහිත්‍ය වගේ දෙයින් වෙන් කරන්න බැහැ. ඒ නිසා දරුවෙක්ව තමන්ගේ මව්භාෂාවෙන් ඈත් කරන්න හදනවා කියන්නෙම ඔහුව තමන්ගේ සංස්කෘතිය, ආගම දහමින් ඈත් කරනවා කියන එකයි.

හිතන්නකෝ ලංකාවේ ඉපදුණ පුංචි දරුවෙක් නැවත නොඑන්නම යුරෝපය හෝ වෙනත් රටකට එක්කරගෙන යනවා. අන්න එතකොට මම මේ කියන කාරණාව අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්.

හැබැයි මේ රටේ ජීවත්වෙන ගමන්, අපේ රටට, ජාතියට ආදරේ දරුවෙක් හදන්න හිතාගෙන ඉන්නවා නම් කිසිම දවසක දරුවව මව්භාෂාවෙන් ඈත් කරන්න හදන්න එපා. මොකද එතකොට ඒ එක වැඩක්වත් වෙන්නෙ නෑ.

ගෝලීයකරණයත් එක්ක ඉංගීසි භාෂාව අද වෙනකොට ජාත්‍යන්තර භාෂාවක්. නැත්නම් නැතුවම බැරි භාෂාවක් බවට පත්වෙලා කියන එක අපි පිළිගන්න අවශ්‍යයි.

හැබැයි අපේ රටේ බහුතරයක් දෙනා ඉංග්‍රීසි භාවිතා කරන්නේ සන්නිවේදන මාධ්‍යයකට වඩා තත්ත්වය, තරාතිරම පෙන්වන ආභරණයක් විදියට වීම තමයි මෙතන ගැටලුව වෙලා තියෙන්​නේ.

ඒකෙ භයානකකම කොච්චරද කියනවානම් ඉංග්‍රීසි කතා කරන්න බැරි පුද්ගලයන්ව පහත්කොට සළකන්න, වචනයක් වැරදුණු හැටියේ ඔහුව අවමානයට පත් කරන්න වගේ දේවල්වලට බොහෝ අය පෙළඹිලා තියෙනවා. යුරෝපීය රටකට ගිහින් ඉංග්‍රීසි කතා කරද්දි වැරදුණොත් මේ ගැටලුව නැහැ. මොකද ඒක අපේ මව්භාෂාව නොවෙන නිසා භාවිතයේදී වැරදීම් වෙන්න පුළුවන් කියන එක ඒ අය අවබෝධ කරගෙන ඉන්නවා.

ඒත් පරගැති මානසිකත්වය හෝ හීනමානය හෝ වෙනයම් හේතුවක් නිසා ලංකාවේදි කෙනෙක්ට ඉංග්‍රීසි වචනයක් වරදින එකත් ලැජ්ජාවෙන්න කාරණාවක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා තමන්ගේ දරුවට හොඳින් හෝ නරකින් ඉංග්‍රීසි උගන්වන්න දෙමාපියන් උත්සාහ කරනවා.

දරුවෙක්ට ඉංග්‍රීසි විතරක් නෙවෙයි භාෂාවන් කිහිපයක් වුණත් ඉගැන්නුවාට නරකක් වෙන්නේ නැහැ. හැබැයි ඒක හරි විදියට කරන්න දෙමාපියන් බුද්ධිමත් වෙන්න ඕන කියන එකයි මම කියන්නේ. තමන්ගේ දරුවට සිංහල බැහැ කියලා සතුටු වෙන අම්මලා ඉන්නවා. ඇත්තටම තමන්ගේ මව්භාෂාව කතා කරන්න බැරිවීම කොහෙත්ම සතුටු වෙන්න කාරණයක් නෙවෙයි. ඒ වගේම ඉංග්‍රීසි බැරි දරුවන් එක්ක කතාවට යන්න එපා කියලා කියන දෙමව්පියනුත් නැතුවම නොවේ. මේ වගේ දේවල්වලින් වෙන්නේ කතා කරන භාෂාවෙන් මිනිස්සු මනින චිත්තවේගීය බුද්ධිය (Emotional Intelligence) නැති සමාජයක් බිහිවෙන එකයි.

වැඩිහිටියෙක්ට සාපේක්ෂව ගත්​තොත් අවුරුදු 10ට අඩු දරුවෙක්ට භාෂාවක් ඉගෙනගන්න තියෙන හැකියාව ඉතා ඉහළයි. හැබැයි අපේ රටේ ඉංග්‍රීසි ඉගැන්වීම් ක්‍රමවේද තවමත් යාවත්කාලීන වෙලා නැහැ. ඒ නිසා ගොඩක් දරුවන්ට ඉංග්‍රිසි ඉගෙනගන්න අපහසුයි.

ඉංග්‍රීසි භාෂාවෙන් සියලුම භාෂාවන් උගැන්විය යුතුයි කියලත් කාලෙන් කාලෙට කතා ඇහෙනවා. යම්කිසි භාෂාවක් උගැන්වීම සහ විෂයක් උගැන්වීම කියන්නේ දෙකක්. මොකද විෂයානුබද්ධ දැනුම සහ ඉංග්‍රිසි භාෂා දැනුම ඉහළ ගුරුවරු අඩුයි. භාෂා දැනුම අඩු ගුරුවරයෙක් ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයක් උගැන්වීමට යන එකෙන් වෙන්නේ නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්. ඉතින් ප්‍රධාන භාෂාවත් මව් භාෂාවෙන් උගන්වලා, අනිකුත් භාෂාවන් දෙවැනි භාෂා ලෙස උගැන්වීම තමයි වඩා හොඳ.

මනෝවිද්‍යාත්මකව බැලුවම භාෂා කුසලතාවන් ඉගෙනගන්න ඇහුම්කන් දීම, කතා කිරීම, කියැවීම, ලිවීම යන කරුණු හතරම සම්පූර්ණ වෙන්න ඕනේ. ඇහුම්කන්දීම සහ කතා කිරීම සිදු නොකරන පරිසරයක ඉඳලා ගහෙන් ගෙඩි එන්නා වගේ ඉංග්‍රීසි කතා කරන්න කියලා දරුවට ටොකු අනින්න ගියොත් දරුවා අසරණ වෙනවා. ඉංග්‍රීසි බැහැයි කියලා දරුවට දඬුවම් කරන්න ගියාම ඔහුගේ යටිහිතේ ඒ ගැන අකමැත්තක් ඇතිවෙනවා. ඒ නිසා තමයි ගොඩක් දරුවෝ ඉංග්‍රීසිවලට දුර්වල.

අනික වචනයක් දෙකක් වැරදුණු හැටියේ දරුවට දඬුවම් කළොත් ඔවුන් ඉංග්‍රීසිවලට බය වෙනවා. ‘ඉංග්‍රීසි කතා කළොත් වරදියි, එතකොට අනිත් අය මට හිනාවෙයි’ කියලා හිතන නිසා ගොඩක් අය ඉංග්‍රීසි කතා කරන්න බයයි. ඉතින් අනාගත ප්‍රයෝජනය සඳහා සුදුසුකම්ලත් දැනුමක් ඇති ගුරුවරයෙක්ගෙන් දරුවට ඉංග්‍රීසි උගන්වන එක තමයි නුවණට හුරු.

බාහිර අටෝපයක් විදියට දරුවො ‘පොෂ්’ කරන්න හදලා දන්න සිංහලත් නොදන්න ‘පුස්’ දරුවෝ බිහි කරන්න එපා කියන එක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි