සුනාමිය දා තෙල්වත්ත පන්සලට ආවා කියන නංගිව මම තාම හොයනවා
‘මගේ පුංචි නංගි ඔයා මේ ලෝකෙ කෙතැනක හරි තාමත් ජීවත් වෙනවා කියලා මම දන්නවා. අනේ ඉන්න තැනක ඉඳලා මට එකම එක කෝල් එකක් දෙන්න… මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා ඔයාව හොයලම මට දැන් මේ ජීවිතේ හති වැටිලා.’
අතුරුදන් වූ පුංචි දියණියකගේ ඡායාරූපයක් සහිතව ලියැවුණු මෙම සටහන වරින්වර උඩ එමින් යට යමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනයුරු අපිද දුටුවෙමු.
සටහන තබා තිබුණේ කිරුළපන පදිංචි නඳුනි වන්නිආරච්චිය. ඒ නිසා ඇගෙන්ම මේ ගැන අසා දැනගන්නට අපි එහි සඳහන් වූ අංකයට ඇමතුමක් දුන්නෙමු.
‘‘ඔයා තාමත් සුනාමියෙන් අතුරුදහන් වුණු නංගිව හොයනවා කියලා අපිට දැනගන්න ලැබුණා…’’
‘‘ඔව්. ඒ කතාව ඇත්ත.’’
දුරකතනයේ අනෙක් පසින් ඒ හඬ අවදි කළත් ඇගේ හඬ යම් තරමකට බිඳී තිබුණි. මේ බිඳුණු හඬින් නඳුනි අපිට කී ඒ කතාවයි.
2004 දෙසැම්බර් 26 වන ඉරුදින උඳුවප් මහේ අවසන් පොහෝ දිනයයි. ඊට පෙර දිනට යෙදී තිබුණු නත්තල නිසා සතිඅන්තයේ දිගු නිවාඩුවක්ද තිබුණි. පාසල් නිවාඩුවේත් අවසන් සමය වූ බැවින් නෑ ගමන් මෙන්ම විනෝද ගමන් යාමටද බොහෝදෙනා සැලසුම් කර තිබුණහ. ලතා සහ නිහාල්ද ඔවුන්ගේ දියණියන් වූ නඳුනිත් හිරුණිත් කැටුව හික්කඩුවේ විනෝද චාරිකාවක් යෑමට යොදාගෙන තිබුණේ එදිනටමය. ඒ වනවිට නඳුනි දාහතර හැවිරිදි වියේ පසු වූ අතර හිරුණි හත් හැවිරිදි වූවාය. දෙදෙනාටම ගමන යනතුරු ඉවසිල්ලක් තිබුණේ නැත. ඒ හික්කඩුවේ යනවාටත් වඩා කෝච්චියේ යාමට තිබූ ආසාව නිසාය.
දෙසැම්බර් 26 වන දින උදෑසන හිරු නැගුනේ වෙනදා පරිද්දෙන්මය. මරදාන දුම්රිය නැවතුමද සෙමෙන් සෙමෙන් ජනාකීර්ණ වෙමින් තිබුණි. සියල්ලෝම අලුත් දවසකට සූදනමින් සිටියහ. නඳුනි, හිරුණි ඇතුළු පවුලේ අයත්, නෑ හිතමිතුරන් කිහිපදෙනෙකුත් මරදාන දුම්රියපොළට වී බලාසිටියේ දුම්රිය පැමිණෙන තුරුය.
වෙලාව උදෑසන 6.55ට ආසන්න වෙමින් තිබුණි. 8050 සීඝ්‍රගාමී දුම්රිය සුපුරුදු පරිදි මරදානෙන් ගමන් ඇරඹුවේ හික්කඩුව හරහා මඩකලපුවට යාමටය. උදෑසන සිහිල් සුළං ගත දැවටෙද්දී මහ හඬ නංවමින් දුම්රිය ඉදිරියට ඇදුනි.
‘‘එකපාරටම මහ සද්දයක් ඇවිත් තෙල්වත්ත, පැරෑලිය ඉස්කෝලෙ ඉස්සරහදී කෝච්චිය නතර වුණා. අපි හිතුවෙ මොකක්හරි කාර්මික දෝෂයක් කියලා. එතකොට වෙලාව උදේ 9.30 ළංවෙලා තිබුණ මට මතකයි.
ටික වෙලාවකින් ‘අන්න පුතේ වඩදිය බාදිය’ කියලා තාත්තා මට ලොකු මුහුදු රැල්ලක් පෙන්නුවා. ඒ කියලා කටගන්න හම්බුණේ නෑ ඒ මුහුදු රැල්ල ගොඩට ඇවිත් කෝච්චියෙත් වැදිලා ජනෙල්වලින් එළියට ගියා. ඒ වෙලාවෙ කෝච්චියටවත් අපිටවත් මොකුත් වුණේ නෑ. ඒත් තෙල්වත්ත ටවුන් එකම වතුරෙන් යට වුණා. ඉස්කෝලෙ ඩෙස් පුටු, ගෙවල්වල බඩුමුට්ටු සේරම වතුරට ගහගෙන ආවා. ඊටපස්සෙ ගමේ මිනිස්සුත් සේරම යන්න එන්න තැනක් නැතුව කෝච්චියට ගොඩ වුණා.’’
එනපොට එච්චරම හොඳ නැති බව තේරුම්ගත් ලතා සහ නිහාල් කෝකටත් කියා පුංචි හිරුණිව දුම්රියේ ඉහළ වූ රාක්කයක් මත ඉන්දවා තදින් අල්ලා ගත්හ. නඳුනිට තදින් ආසනයක් අල්වා ගන්නැයි කී ඔවුන්, අසල වූ නෑ හිතමිතුරන්ටද තම තමත් ගැන විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියහ.
ගතවූයේ තවත් තත්ත්පර කීපයක් පමණි.
‘‘ඔන්න තවත් රැල්ලක් එනෝ… පණ බේරගෙන දුවපල්ලා…’’ යැයි කියා දුම්රියේ සිටි පිරිස කෑගැසූහ.
‘‘ඒත් එක්කම මම ජනේලෙන් ඔලුව දාලා මුහුද පැත්ත බැලුවා. අඩි 40ක් 50ක් විතර උස කළුම කළු යකෙක් වගේ රැල්ලක් අපේ පැත්තට එනවා මම දැක්කා. ඒ වෙලාවෙ මම හිතුවා මේ තමයි අපි හැමෝගෙම ජීවිතවල අන්තිම තත්පරේ කියලා. මිනිස්සුන්ගේ මරලතෝනියත් එක්කම රැල්ලට අහුවෙලා කෝච්චිය පෙරලිලා යනවා විතරයි ඒ වෙලේ මට මතක.’’
ඊට සුළු මොහොතකට පසු මහ ජලකඳ මැදෙන් යාන්තමට හිස ඔසවාගත් නඳුනි අම්මාගේ තාත්තාගේ මෙන්ම හිරුණිගේත් නම් කියමින් විලාප දුන්නාය. ගසාගෙන යන සැඩ රළපහර මැදින්ම කොහේදෝ සිට අමාරුවෙන් නඳුනි දෙසට ආ නිහාල් කොට කැබැල්ලක ආධාරයෙන් නඳුනිවත්, ලතාවත් බේරාගත්තේය. එහෙත් පුංචි හිරුණිව සොයාගන්නට ලැබුණේ නැත. තැන තැන පාවෙන මළසිරුරු ගොඩගැසී තිබුණි. ඇඬුම් වැළපිලි මැද්දෙන් තම තමන්ගේ අතුරුදන් වූ සමීපතමයන් සොයන බලාපොරොත්තුවෙන් ඒ මේ අත දුවන මිනිසුන්ය. ඒ වනවිට මුළු ගාල්ල නගරයම විශාලා මහනුවරක් බවට පත්ව තිබිණි.
‘‘අපි වටේටම මළමිනී පාවුණා. ඒවා එහාට මෙහාට පෙරල පෙරලා අපි නංගිව හෙව්වා. ගස් ගල් අස්සෙ, කෝච්චි පෙට්ටි අස්සේ පවා හෙව්වා.’’
නමුත් ඒ කිසිම තැනක හිරුණි සිටියේ නැත. පසුව ආරක්ෂක අංශවල නිලධාරීන් තවත් රැල්ලක අවදානම පෙන්වා සියල්ලන්ම එම ස්ථානවලින් ඉවත්කොට තෙල්වත්ත විහාරස්ථානය වෙතට යැවීමට කටයුතු කළහ.
‘‘පස්සේ අපි තල්දූව, පැරෑලිය හැමතැනම නංගිගෙ පෝස්ටර් ගැහුවා. ඒ පොස්ටර්වලින් නංගිව දැකපු ගොඩක් අය අපිට කතා කළා. පුදුමෙ කියන්නෙ ඒත් එක්කම නංගිව බේරාගත්ත කෙනෙකුත් අපිට කෝල් කළා.’’
ඔහු අලුත්වල පදිංචි සහල් මෝල් ව්‍යාපාරිකයෙකු වූ සිරිතුංගය. සිරිතුංග පැරෑලියට පැමිණ තිබුණේ ව්‍යාපාරික කටයුත්තකටය. එහෙත් අවාසනාවට ඔහුගේ ලොරි රථයද සුනාමි රැළට හසුව ගසාගෙන ගොස් තිබිණි. සිරිතුංග පවසන ආකාරයට ඒ මොහොතේ හිරුණි සිට ඇත්තේ ගසක් මුල සිරවීය. එවෙලෙහි සිහිවිකලෙන් මෙන් හඬමින් සිටි හිරුණිව බේරාගෙන තෙල්වත්ත පන්සලට යැවීමට තමන් කටයුතු කළ බව සිරිතුංග කියන්නේය. සිරිතුංග පමණක් නොව තවත් බොහෝ අය ඔවුන් අමතා කියා ඇත්තේ සුනාමියට පසු හිරුණි තෙල්වත්ත විහාරස්ථානයේ හඬමින් එහෙ මෙහෙ ඇවිදිමින් සිටි බවය.
‘‘මේ කියන කතා ඇත්තද කියලා සැක ඇරලා දැනගන්න අපි සුනාමි මළසිරුරු දාලා තිබුණ හැම මෝචරියකටම ගියා. අපි ගිය කෝච්චි පෙට්ටි උස්සලා අයින් කරපු දවසෙ පවා ගිහින් හැමතැනම බැලුවා. ඒත් අපිට නංගිගෙ මළසිරුර හම්බුණෙ නැති නිසා සිරිතුංග අංකලුයි, නංගිව දැක්කා කියපු අනිත් අයගෙයි කටඋත්තරවලට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කළා.’’
ලැබුණු සියලු සාක්ෂි සහ කටඋත්තර විමසා බලද්දී ඒවා සියල්ලම එකකට එකක් සමානය. ඒ අනුව බලනකල හිරුණි තවමත් ජීවත් වනවා යැයි සිතීමට ඇති ප්‍රවණතාවය වැඩිය.
නඳුනි සහ ඇගේ දෙමව්පියන් ගෙවෙන හැම තත්පරයේම ප්‍රාර්ථනා කරන්නේ හිරුණි නැවතත් ඔවුන් අතරට පැමිණේවා කියාය. එදා සත් හැවිරිදි වියේ පසුවූ හිරුණි අද වනවිට විසිහතර හැවිරිදි යෞවනියකි. නඳුනිටවත්, ඒ දෙමව්පියන්ටවත් ඇගේ මතකයන් පන්නා දමන්නට අදටත් නොහැකිය. ඒ දරු සෙනෙහෙත් සහෝදර කැක්කුමේත් තරමය. බලාපොරොත්තු පිරි දෑසින් අදටත් ඔවුන් හිරුණි එනතුරු මග බලා සිටින්නේ ඒ නිසාය.
ලිහිණි මධුෂිකා