මාව අනුකරණය කරන පිරිසක් ඉන්න එක ගැන ආඩම්බරයි – මධූෂි අමරසිංහ
‘‘මං ඉපදුනේ කෑගල්ලේ. ඒත් මං පාසල් ගියේ හලාවත ආනන්ද ජාතික පාසලට. හලාවත මගේ අම්මගේ ගම. දැන් මට වයස අවුරුදු තිස්දෙකයි. මගේ අම්මා එමෙල්ඩා බ්‍රියට්ස්. ඇය ගෘහණියක්. පියා මහින්ද අමරසිංහ. ඔහු හෝටල් සංස්ථාවේ කළමනාකරුවෙක්. මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ජනිත් අමරසිංහ. කැනඩාවේ ජීවත්වෙන්නේ.’’
එදා හලාවත ආනන්ද ජාතික පාසලේ සිටි අහිංසකම කෙල්ල ලෙස ඇයව හැඳින්වුවද එහි වරදක් නැත. එසේම එදා ඇය පාසලේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යාවයි.
‘‘පාසල් කාලේ මං ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් ගොඩාක් දක්ෂයි. දැල්පන්දු, පැසිපන්දු එහෙම සෙල්ලම් කළා. 2005 අවුරුද්දේ A හයයි B දෙකයි C දෙකක් එක්ක සාමාන්‍ය පෙළ සමත් වුණා. 2008 අවුරුද්දේ වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා B දෙකයි C එකක් ගත්තා.’’
උසස් පෙළින් විශ්වවිද්‍යාල වරම් ලැබුවත් විශ්වවිද්‍යාල පේන මානයට හෝ යන්නට ඇයට පින් තිබුණේ නැත. ඒ කුඩා කල පටන් ඇයව පෙලූ අසනීපය ඒ තීරණාත්මක මොහොතේත් මාරාවේශයෙන් ඈ ඉදිරියට ආ නිසාය. අවසානයේ අකමැත්තෙන් වුව සියලු සිහින අනාගතයට බාරකර ඇයට සිදුවූයේ වෙනම පාරක යන්නටය.
‘‘මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබුණා නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනෙට යන්න ලොකු බාධාවක් තිබුණා. ඒ තමයි මට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ඇදුම රෝගය. ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට යන්න පවා අවස්ථාව උදාවෙලත් ඒ අසනීපය විසින් මාව නැවැත්තුවා. විශ්වවිද්‍යාල වරම් හැමෝටම හීනයක්. නීති පීඨයට යන්න ප්‍රතිඵල නොතිබුණත් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් සඳහා අවස්ථාව ලැබුනා. ඒත් ඒ වෙද්දි මගේ අසනීපය වැඩි වුණු නිසා කැම්පස් යනවට අම්මලා කැමතිවුණේ නෑ. පස්සේ කවදා හරි ඉගෙනගෙන නීතිඥවරියක් වෙනවා කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන පෞද්ගලික අංශයේ රැකියාවකට ගියා.’’
පිරිමියෙකුගේ ජීවිතයක් දිව්‍යලෝකයක් කිරීමටත් අපායක් කිරීමටත් ගැහැනියකට හැකියාව තිබේ. ඒ අප අසා ඇති කතාවයි. එයාකාරයෙන්ම ගැහැනියකගේ ජීවිතය දිව්‍යලෝකයක් හෝ අපායක් කිරීමටත් පිරිමියෙකුට හැකියාව ඇත. මධූෂිගේ ජීවිතයට ඔහු එන්නේ අපායකට ඇදවැටෙමින් තිබූ ජීවිතය දිව්‍යලෝකයක් කිරීමටය.
‘‘2014 අවුරුද්දේ පෞද්ගලික අංශයේ කළමනාකරුවෙක් වෙන අරවින්ද ප්‍රනාන්දු එක්ක මං විවාහ වුණා. ඔහු මට දුන්නු හයියත් එක්ක මං විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදය ඉගෙනීම ආරම්භ කළා. ඒත් දෙවෙනි වසරෙදි ආයෙත් රෝගය වැඩිවුණා. දේශනවලට යන්න, පාඩම් කරන්න, විභාග ලියන්න අපහසුයි කියලා තේරුණා. ආයෙත් මං ගෙදර නැවතුනා.’’
බිංදුවටම වැටී සිටි ඇය ඔහුගේ හයියෙන් අඩියක් ඉදිරියට තබන්නට හැදුවා පමණි. එවරද දෛවය හමුවේ ඇයට සිදුවුණේ පරාජය වෙන්නටය. ඒත් ඔහු ඇයට වැටෙන්නට ඉඩ දුන්නේ නැත.
‘‘මේ අසනීපය නිසා මං මානසිකව වැටුනා. ඒ නිසා ජීවිතේ ගොඩාක් දේවල් අතපසු වුණා. ඉදිරියට යන්න ගොඩාක් අවස්ථා ලැබිලා තියෙද්දිත් ඒ දේවල් නැතිවුණා. ඒත් මගේ සැමියා මගේ හිත ශක්තිමත් කළා. ඔහු නිසා මානසික මට්ටමත් දියුණුවුණා. ඔය අතරේ මට ජීවිතේ වෙනස් කරගන්න හිතුනා. මං ජිම් ගියා. එන්න එන්න මගේ සිරුර වෙනස් වුණා. අසනීපයත් සුව වුණා. මං කායවර්ධන ක්ෂේත්‍රයේ තාක්ෂණික පැතිකඩ අධ්‍යයනය කළා. ඊටපස්සේ ‘Lanka Institute of Fitness and Nutrition’ ආයතනයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. මේ අවුරුද්දේ පෙබරවාරි වෙනකොට NVQ 04 ලෙවල් එකට එන්න පුළුවන් වුණා. දැන් මං වෘත්තියෙන් ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිනියක් විදිහට කටයුතු කරනවා.’’
දැන් ඇයට හොඳටම සුවය. ඒ ඇය ශාරීරික යෝග්‍යතාවලට යොමුවීම නිසාය. අද වනවිට ඇය සිසු සිසුවියන් සියයකට ආසන්න ගණනකට ශාරීරික යෝග්‍යතා පුහුණුකරවන පුහුණුකාරිනියකි. ඇගේ සිරුර මෙන් හැඩැති සිරුරක් හදාගැනීම ඒ බොහෝදෙනාගේ එකම අරමුණයි.
‘‘මට අහිංසක ආඩම්බරකමක් දැනෙනවා. ඒ දැන් මාව අනුකරණය කරන පිරිසකුත් ඉන්න නිසා. මං අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්. එයා තමයි මගේ වීරයා. ගැහැනියක් විදිහට ඔහු හඹායෑම අසීරුයි. ඒත් ඉලක්ක අසීරුවෙන තරමට ස්වයං කැපවීම වැඩියි. අනිවාර්යයෙන්ම මං ජාතික මට්ටමෙන් පටන්ගෙන කායවර්ධන ක්‍රීඩාව තුළින් ඉදිරියට යනවා. ලංකාවේ කාන්තා කායවර්ධන ක්ෂේත්‍රය ගොඩාක් පස්සෙන් තියෙන්නේ. මං ආසයි ඒක ඉදිරියට ගේන්න.’’
මධූෂි මෙන් විවිධ හේතු නිසා වරින්වර මනසින් කඩාවැටෙන තරුණියෝ මේ මොහොතේත් සමාජයේ ඕනෑතරම් ඇත. කඳුළුත් එක්ක දවස ගෙවන ඔවුන්ට හයියක් වෙන්නට සිතා අවසානයේ ඈ මෙසේ පැවසුවාය.
‘‘හීන හැබෑ වෙනකන් කවදාවත් ඉලක්ක හඹායන එක නවත්තන්න එපා. ඉලක්කවලට වැඩ කරද්දි මුලින් යන්න හිතාගෙන ඉඳපු තැනට යන්න බැරි වුණත් ඊට වඩා හොඳ මාවත් විවෘත වෙනවා. ඒ නිසා තමන්ව විශ්වාස කරන්න.’’
රුවන් එස්.සෙනවිරත්න