විශේෂාංග

විශ්‍රාම ගිය දෙමළ ඉස්කෝලෙ මහත්තුරු නඩු අහන කාති උසාවි තහනම් කරන්න -හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර්

මුස්ලිම් කාන්තාවන් දැඩිව පීඩාවට පත්කරන කාති උසාවි අහෝසි කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වන මොහොමඩ් සුබයිර් මහතා ඉල්ලීමක් කළේය. ඔහු මෙම ඉල්ලීම කළේ, එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉකුත් (26) දා රැස්වූ අවස්ථාවේදීය. සිය හතළිස් වසරක සේවා කාලය තුළ ඔහු, අධිකරණ පරිපාලනමය සේවයේ රාජකාරි කළ අතර, මහනුවර මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා ලෙස විශ්‍රාම ලැබීය. එදා මෙදා තුර තම රාජකාරී ජීවිතය තුළ ලද අත්දැකීම් අතර කාති උසාවියෙන් සිදුවන අගතිය ගැන කළ අධ්‍යනයකින් පසු ඔහු මෙම අදහස් දැක්වීම කර තිබේ. මෙම ලිපිය සැකසෙන්නේ එම කරුණු ඇසුරිනි.

රියානාට තවමත් වයස දාහතකි. පාසල් යන කෙළිලොල් වයසේ සිටියත් පොත්මිටිය වෙනුවට ඇය තුරුළු කරගෙන සිටින්නේ තම සත්මස් වියැති බිළිඳාවයි. ළමයෙකුට ළමයෙකු බලාගැනීම කොතරම් අසීරු වුවත් රියානා එය කළ යුතුම විය. ඇයගේ විසිහත් හැවිරිදි පෙම්වතා ඉර්ෆාන් දරුවාට නඩත්තු මුදලක් ගෙවන්නට කාති උසාවියේදී පොරොන්දු වූවද ඔහු දැන් රටෙත් නැත. ලොවේ කොතැනක සිටිනවාදැයි කියන්නට දන්නා කෙනෙකුත් නැත.

‘‘එයා එක මාසයක් නඩත්තු ගෙව්වා. කාති උසාවිය මගේ දරුවටත්, දරුවගෙ දරුවටත් වුණු අසාධාරණය හරියට ඇහුවේ නෑ. පිරිමියාගේ පැත්ත තමයි ගත්තේ. කැකිල්ලේ තීන්දුම තමයි දෙන්නේ.’’

ඒ රියානාගේ මවය. කාති උසාවිය තුළ නඩු අසන්නට යෑමෙන් කාන්තාව තව තවත් අසරණ වන බවත් ඇය කියන්නේ හැඬූ කඳුළිනි. එවන් කතා සිය ගණනක් මේ කාති උසාවිය හා බැඳී ඇති බව ඇත්තය.

‘‘මම මහාධිකරණ රෙජිස්ටාර්වරයා විදියට උසස්වීමක් ලබලා 1988 අවුරුද්දේ තමයි මහනුවරට ආවේ. එම අධිකරණ සංකීර්ණය බාරව කටයුතු කළේ මමයි. එහිදී මට පැමිණිලි කිහිපයක් ලැබුණා ඒ පැමිණිලි විභාග කරගෙන යද්දි මට දැනුණා මුස්ලිම් නීතිය කියලා (මුස්ලිම් විවාහය හා දික්කසාදය) නීතියක් ඇවිත්, නීතිය අනුව කාති උසාවි ආරම්භ කරලා වැඩ කරගෙන යනවා කියලා. මේ කාති උසාවිය 1956 තමයි මුල්වරට මුස්ලිම් සමාජයට හඳුන්වා දීලා තියෙන්නේ. මගේ වචනයෙන් කිව්වොත් මේක මෝඩ ක්‍රමයක්. ඒ වගේම මෙහි නඩු අහන්නේ උසාවියේ නඩු අහන පිළිවෙලට නොවෙයි. ඒ විනිශ්චයකාරවරයා නීතීඥ මහතෙකුත් නෙවෙයි. උසාවියක් ගත්තම එහි නීතිමය ක්‍රියාපටිපාටියක් තිබෙනවා. දණ්ඩනීති සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය තිබෙනවා. ඒ නීතිය අනුව තමයි නඩුවක් අහන්න පුළුවන්. ඇතැම් ලියකියවිලි තියෙනවා ඉදිරිපත් කළ නොහැකි ඒවා. ඒ පිළිබඳව දන්නේ නීතීඥ මහතායි. මෙතැනදී විනිශ්චයකාරවරයා නීතීඥයෙකු විය යුතුයි. ඒත් කාති උසාවියේ ඉන්න විනිශ්චයකාරවරයා නීතීඥයෙක් නොවෙයි. ඔහු බොහෝවිට විශ්‍රාමලත් ඉස්කෝලේ මහත්තයෙක්. ඔහු බොහෝදුරට ද්‍රවිඩ භාෂාව විතරයි කතා කරන්නේ. සිංහලත් බෑ. එහෙම අයට තනතුරු දීලා නඩු අහන්න යෑමෙන් කාති උසාවිය තුළ කාන්තාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා. ඇයගේ හඬට කන්දෙන්න කෙනෙක් නැහැ. ඒ අසාධාරණය සිදුවෙන්නේ මෙහෙමයි.

යම් අයෙක් දැරියක් ගර්භනී කළොත්, ඔහු ඒ දරුවගේ පීතෘත්වය භාරගන්නේ නැත්නම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. එහිදී ඔහු පීතෘත්වය පිළිගන්නවානම් නඩත්තු මුදලක් නියම කරනවා. මාසයක් නඩත්තු මුදල් නොගෙව්වොත් හිරේට නියම වෙනවා. ඒත් කාති උසාවිය මගින් නඩත්තු මුදලක් නියම කළද එය නොගෙවා බේරී, රටෙත් නොසිට අදාළ අයට පලායන්නට පුළුවන්කම ලැබෙනවා. මෙය මුස්ලිම් දැරියගේ ජීවිතය අගතියෙන් අගතියට පත් කරන්නක්.’’

මෙහිදී කාතිවරයා යම් නඩත්තු මුදලක් නියම කළද නීතිමය පසින් එහි වලංගුතාවයක් නොමැත. එහිදී නඩත්තු නඩු මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන්නේ නම්, එය අහිංසක මුස්ලිම් තරුණියට යුක්තිය ඉටුකිරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

‘‘ඊළඟට දික්කසාදය කියන කාර‍ණයේදී දිස්ත්‍රික් උසාවිවලට යන්න මුස්ලිම් කාන්තාව ටිකක් අකමැතියි. දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ඉවර වෙන්න අවුරුදු ගාණක් යනවා කියන මතයක් තියෙනවා. ඒත් එහි සත්‍යතාවයක් නෑ. දිස්ත්‍රික් උසාවියේ දික්කසාද නඩු දිග්ගැස්සෙන්නේ නැහැ. දික්කසාද නඩුවක් දිස්ත්‍රික් උසාවියට ආවා නම්, විනිශ්චයකාරතුමා කියන්නේ ‘දෙවියන්වහන්සේ මේ දෙන්නව එක්කරලා තියෙනවා, මම මොකටද ඒ අයව වෙන් කරන්නේ?’ ඒ නිසා නීතීඥ මහත්වරුන්ට ඔහු කියනවා මේ දෙපාර්ශවය සමාදාන කරන්න කියලා. ඒ සඳහා තුන් මාසයක් කල් දෙනවා. එහිදී සමාදාන නොවෙනවානම් ඒ ගැන තර්ක කරන්න එපා කියනවා. මේ දෙපාර්ශවය කට අරිනවා කියන්නේ කුණු රෙදි සේදීමක්. විනිශ්චයකාරවරු අකැමතියි මේ නඩු අහන්න. එහිදී සමාදානයෙන් මෙය විසඳගන්න, එකට ඉන්න බැරි නම් වෙන්වෙලා යන එක තමයි හොඳම දේ කියලා කියනවා. එතැනදී එක් අයෙකු විත්ති කූඩුවට නැගලා ‘අපි සමාදානෙන් වෙන්වෙලා යනවා’ කියලා මහජනතාවට නොඇසෙන්න නඩුව ඉවර කළ හැකියි. 1972 ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තමයි මේ පවුල් අධිකරණය කියන නීතිය ගෙනාවේ. පවුල් අධිකරණය කියන කාරණාවෙදි නඩුව අහන්නේ නිල කාමරයේදී. ඊට හේතුව තමයි සැමියාගෙත් බිරිඳගෙත් කාරණා තවත් පාර්ශවයක් දැනගත යුතු නැහැ කියන කාරණය. අනුව අදටත් දිස්ත්‍රික් උසාවියේ පළමු නඩු කාරණය වෙන්නේ දික්කසාද නඩුයි. අනුව කාති උසාවියේ නෙවෙයි දිස්ත්‍රික් උසාවිය තුළ මෙම නඩු පැවරීම සුදුසුයි. එතැනදි නීතීඥ මහතුන්ට ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකියි.’’

සුබයිර් මහතා කියන්නේ නඩත්තු නඩු මහේස්ත්‍රාත් අධිකරණයටත්, දිස්කසාද නඩු දිස්ත්‍රික් අධිකරණයටත් පවරා කාති උසාවි සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය.

බහුවිවාහ සම්බන්ධයෙන් මුස්ලිම් ආගම තුළ අනුමැතියක් ඇතැයි සඳහන් කරමින් ඇතැම් පුරුෂයින් සිදුකරගන්නා විවාහ නිසාද මුස්ලිම් කාන්තාවට හිරිහැර විඳින්නට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

‘‘කුරාණයේ කියලා තියෙනවා මුස්ලිම් පිරිමියට විවාහයක් සිදුකරගන්න ඕන ආකාරය. කාන්තා​වෝ හතරදෙනෙක් විවාහ කර ගන්නවා නම් ඒක කරන්න පුළුවන් කාටද කියලත් කියලා තියෙනවා. අපේ සමහර මවුලවිවරු ඉන්නවා රැවුල වවාගන්නවා, මව්ලවි සහතිකේ ගන්නවා, කසාද තුන හතරක් කරගන්නවා. එහෙම කරන්න බෑ. කුරාණයේ හතරවැනි ඡේදයේ තියෙනවා යුක්තිය ඉටු කරන්න පුළුවන් නම් පමණක් විවාහ හතරක් කරගන්න කියලා. කුරාණයේ හැටියට මේ කියන යුක්තිය විශාල අර්ථයක් සහිතයි. එහිදී කාන්තාවගේ සුබසිද්ධිය මූලිකයි. ඒ අනුව බහුවිවාහ වෙනුවට මුස්ලිම් පිරිමියාටත් එක විවාහයක රැඳිය හැකි නීතිය අවශ්‍යයි. බහුවිවාහ නීතිවිරෝධියි කියන නිර්දේශය ගෙනඒම ඉතා කාලෝචිතයි.’’

සුබයිර් මහතා එම ඉල්ලීම කළේ කමිටු සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ කමිටු සාමාජිකයින් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමිනි.

ඔහු මෙම ප්‍රකාශය ලබාදුන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී වීමද විශේෂයකි.

දීපා වසන්ති එදිරිසිංහ