ඉස්කෝලෙ යන කාලේ Love කරන උන් කොටාපියව්! මරාපියව්!
දොරේ සීනුව නාදවෙන හඬ ඇසෙද්දී මා නැගී සිටියෙමි. දවස පුරා ලියුම් කවර ඇලවූ නිසා ඇඟිලි තුඩු රිදුම් දුන්නේය. පැමිණ ඇත්තේ මාගේ සැමියා සසංක විය යුතුය. මා ගොස් දොර විවෘත කළෙමි. සසංකගේ මුහුණ වෙහෙසට මැලවී ගොස්ය.
‘‘මාදී…’’ සසංක මා ඇමතුවේය.
‘‘හරිම බඩගිනි මාදී. තේ එකක් බොමුද? මම රටකජු ටිකක් ගෙනාවා. කාලා තේ බොමු.’’ සසංක කියද්දී මගේ මුවේ සිනා නැඟිනි.
රටකජු කා තේ බොන කවුරුවත් ගැන මා මින් පෙර අසා නැත. අතේ මුදල් හිඟ වුවද මා හට යමක් නොගෙනාවොත් සසංකගේ හිතට හරි නැත. ඉතින් ඔහු රුපියල් 20කට දෙන රටකජු මුල රැගෙන එන්නේ මා සතුටු කරන්නටය.
අපි කිරිපිටි පරිභෝජනය නොකරන්නේ මුදල් ඉතිරි කරගත යුතු නිසාය. සසංකත් මාත් ගෙවල්වල සිටියදී නම් දවස ඇරඹුවේ කිරි එකකින්ය. සවසටද කිරි එක වරදින්නේ නැත. මේවා සිතමින් මම කහට තේ දෙකක් සෑදුවෙමි.
‘‘අද ගොඩක් කවර අලවලා නේද? මට දුකයි ඔයා ගැන. මා එක්ක ඇවිත් දුක් විඳිනවා.’’ මා තේ කෝප්ප දෙක ගෙන සසංක වෙත යද්දී ඔහු කීවේය.
‘‘මොනවා වුණත් අපි දෙන්නට දෙන්නා ඉන්නවනේ. අපි සතුටින් ඉමු අනේ.’’ මා කීවේ සසංකට සරදම් කරමිනි.
‘‘ආහ් මාදී කියන්න දෙයක් තියෙනවා. සුනන්දා ඇන්ටිගේ දුව අද පාරේ කොල්ලෙක් එක්ක හිටියනේ. ඌත් ඉස්කෝලෙ යන කොල්ලෙක්.’’ සසංක කියද්දී මා බෙහෙවින්ම කලබල වූයෙමි. සුනන්දා යනු අප ජීවත් වන නවාතැනේ හිමිකාරියයි.
‘‘අනේ කියන්න නම් එපා කාටවත්. විභාගෙට තව මාසයයිනේ. නැත්තම් අපිට වුණා වගේ ජීවිතේම අවුල් වෙයි ඒ කෙල්ලගෙත්.’’ මා කීවෙමි.
‘‘පිස්සුද මාදී? මම කියනවද? උන් දෙන්නව දකිද්දි මට අපේ අතීතය මතක් වුණා.’’ සසංක කියද්දී මා සිනාසුණේ සෙනෙහසිනි.
දින කීපයක් ගතවිණි.
දවසක් දහවල් වරුවේ සුනන්දා ඇන්ටී මා සොයාගෙන ආවාය.
‘‘දුවේ, මට දුවට කියන්න යමක් තියෙනවා.’’ ඇය කීවේ වාඩිවෙමින්ය.
‘‘කියන්න ඇන්ටි මොකද්ද?’’
‘‘අපේ දූ එයාගේ වයසෙම පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලානේ.’’ ඇය කියද්දී හිරිගඩු පිපුණේ මගේ ඇඟේය.
මා හා සසංක අතර සම්බන්ධය ආරංචි වූ දින තාත්තා මට කොස්සක් කැඩෙනකම් පහර දුන් හැටි සිහි වී මා වෙව්ලන්නට විණි. මේ දැරියටත් අත් වන්නේ ඒ ඉරණමද?
‘‘අනේ ඇන්ටි, ඕක බොරු ආරංචියක් වෙන්න ඇති. ගහන්න බණින්න යන්න එපා. විභාගයත් ළඟයිනේ. නංගි පව්.’’ මා කිව්වේ කලබලයෙනි. සුනන්දා ඇන්ටි මා දෙස බලා සිටියේ පුදුමයෙනි.
‘‘පිස්සුද දරුවෝ අපි කෙල්ලට ගැහුවේ නැහැ. පිරිමි ළමයගේ දෙමව්පියෝ තමයි මුලින්ම දැනගෙන තියෙන්නේ. අපි වැඩිහිටියෝ කතාවෙලා දරුවන්ට කිව්වා කැම්පස් යන විදිහට විභාගය පාස් වුණොත් අපෙන් විරුද්ධත්වයක් නැහැ කියලා. දෙන්නටම හොඳට ඉගෙනගෙන අනාගතේ ප්ලෑන් කරන්න පටන් ගන්න කියලා කිව්වා. අපේ කෙල්ල දැන් වෙනදටත් වඩා උනන්දුවෙන් පාඩම් කරනවා.’’ සුනන්දා ඇන්ටි සිනාසෙමින් කියද්දී මට පුදුම සිතුණි.
මගේ ඇස්වලින් ගලායන කඳුළු දැක සුනන්දා ඇන්ටි කලබල වූවාය.
‘‘අනේ ඇයි දුවේ?’’
‘‘මටත් හිටියා නම් ඇන්ටි වගේ හිතන අම්මෙකුයි, තාත්තෙකුයි. අනේ මායි සසංකයි හොඳට ඉගෙනගත්තු අය. මම පංතියේ පළවෙනියා. සසංක අනිවාර්යයෙන් 10 වෙනියගෙන් උඩ. කථික තරඟවලින් හැමදාම දිනන්නේ සසංක. ඒත් අපේ සම්බන්ධය ගැන දැනගත්තම මට ගෙදරින් හොඳටම ගැහුවා. මගේ ඇඟම නිල්වෙලා තිබ්බේ. ඒ මදිවට අම්මලා සසංකගේ ගේ ගාවට ගිහින් කෑ ගහලත් තිබ්බා. ඉස්කෝලේ ප්රින්සිපල්ට පැමිණිලි කළා. අපි ලොකේ තියෙන දරුණුම වරද කළා වගේ හැසිරුණේ. අපි උසස් පෙළ විභාගය කරන එකත් අත්ඇරලා ගෙවල්වලින් පැනලා ආවේ ඒ නිසයි.’’ මා එකදිගටම හඬමින් කියවද්දී සුනන්දා ඇන්ටි දිගටම මගේ හිස අතගෑවාය.
‘‘අනේ දරුවෝ මම ඔච්චර දෙයක් දැනගෙන හිටියේ නෑනේ. මේ අහන්නකෝ දුවේ, අපේ කෙල්ලගේ විභාගේ ඉවර වුණාට පස්සේ ඒ පොත් ටික සේරම මම ඉල්ලලා දෙන්නම්. දුවයි පුතයි දෙන්නත් ආයේ විභාගය කරන්න ඊළඟ සැරේ. තේරුණාද? කරන්න පුළුවන් ඕනෙම උදව්වක් කරන්නම් දුවේ. ඔය දරුවෝ දෙන්නා මගේ දරුවට වඩා ඕනෙ නම් අවුරුදු 3ක් වැඩිමල් ඇති. ඔයාලත් මගේ දරුවෝ වගේ තමා.’’ ඇය කීවේ මා තුරුළට ගනිමින්ය.
සමාධි ඩයස්