විශේෂාංග

මූණ ඇදවෙලා, දත් ගැලවිලා, විරූපී වුණාට පස්සෙ තමයි මං එයාට ඇත්තටම ආදරේ කරන්න පටන්ගත්තෙ

‘‘සුපුරුදු විදියට විශ්වවිද්‍යාලයට මම එනවා. එනකොට මගේ දුරකතනය නාද වෙනවා. බලනකොට මගේ බිරිඳගෙන්. ඒ වෙලාවට ඇමතුමක් එන්න විදියක් නෑ. හේතුව එයා ඉස්කෝලෙ යන වෙලාව. ඒකට කතා කරනකොට කාන්තා කටහඬක් ආවේ, බිරිඳගේ නෙවෙයි. ඒකෙන් කියවුණේ මේ ෆෝන් එකේ අයිතිකාරයා මොහොතකට ඉස්සරලා වාහනයක හැප්පිලා මියගියා කියලා. වෙලාවේ මම මැදවච්චිය පොලිසියෙ ඕඅයිසී මහත්තයාට සහ මගේ සහෝදරයට ගත්තා කෝල් එකක්. අරන් කිව්වා දම්මි හැප්පිලා ඉන්නවා, මැරිලා කියලා කියන්නේ, හැබැයි මට විශ්වාසයි ශරීරයේ කොහේහරි තැනක පණ ඇති කියලා. ඉක්මනට හොස්පිටල් එකට අරන් එන්න කියලා. මෘත දේහය වෙච්ච කොටස කෑලි එකතු කරලා, ගෝනි කෑල්ලක් එලලා ඩීමෝ බට්ටා ලොරියක දාගෙන මැදවච්චිය රෝහලට ගෙනල්ලා තිබුණා. මං බලාපොරොත්තු වුණා වගේම ශරීරය කෙළවරක එයාට පණ තිබුණා. මේ පණ ආපහු පිහිටවන්න හරියටම දවස් විසිහතක් දැඩිසත්කාර ඒකකයේ ඉන්න වුණා. ඒක ඉවර වෙන්නෙ දත් හතරක් එයාට අහිමිවෙලා, අත දෙපොළකින් කැඩිලා. වකුගඩුව තැලිලා සහ උකුල් ඇටේ පුපුරලා. මං බොහොම ආදරේ කළා ඇගේ සමට, මූණට. ඒ ඔක්කොම අහිමිවුණා. මූණ ඇදවුණා, දත් ගැලවුණා. විරූපී තත්ත්වයට පත්වුණා. ඔබ විශ්වාස කරාවිද නොකරාවිද දන්නේ නෑ. මම ඇයට ආදරේ කරන්න පටන්ගත්තෙ 97 අවුරුද්දෙ. නමුත් ඇත්තටම මං එයාට ආද​රේ කරන්න ගත්තේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. වෙනදාටත් වඩා එයාගේ බොහෝ දේවල් අහිමි වෙනකොට එයාට මං තදින් බැඳුණා.’’

අතොරක් නැතිව මුහුණපොතේ එකදිගට හුවමාරු වෙන පෝස්ට් එකකයි අපි මේ ප්‍රකාශය මුලින්ම දුටුවේ. තමන්ගේ බිරිඳට මේ තරම් සෙනෙහෙවන්ත වුණු සහ ඒ බව නොසඟවා ප්‍රකාශ කරන මේ ස්වාමිපුරුෂයා කවුද කියලා ඊළඟට අපි හෙව්වා. එතකොට තමයි අපි දැනගත්තෙ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ මහත්මා කියලා. මුල ඉඳලා අගට යනකන් මේ කතාව ‘ධරණී’ට කියන්න කියලා අපි කරපු ආරාධනාව ඔහු බොහොම නිහතමානීවයි භාරගත්තේ.

‘‘මං ඉපදුනේ මැදවච්චිය කියන දුෂ්කර පළාතේ දුප්පත් පවුලක. දෙමව්පියො ජීවත්වුණේ ගොවිතැන් කරලා. මමත් තේරෙන කාලේ ඉඳන්ම කුඹුරට බැහැලා තාත්තා එක්ක වැඩ කළා. ඒ කාලේ ඉස්කෝලේ ගමන ගැන නම් කතා කරලා වැඩක් නෑ. මොකද ඉස්කෝලේ ගියාට වඩා කළේ කට්ටි පැනපු එක. කොටින්ම කිව්වොත් මං ඉස්කෝලේ ගියේ මට පුළුවන් වෙලාවට. කුඹුරු වැඩ කාලෙට එහෙම ගියේම නෑ.

හැබැයි හීනයක් තිබුණා අටේ විභාගය සමත්වෙන්න. මොකද ඒක සමත් වුණොත් කිසි කතාවක් නැතුව හමුදාවට යන්න පුළුවන්. කොහොම හරි මං අට පාස් වුණා. ඊටපස්සේ දෙසැරයක්ම ලොකු ඇඳුම් මල්ලක් කරේ දාගෙන අනුරාධපුරේ ටවුන් එකට ගියත් වැඩේ හරි ගියේ නෑ. පස්සේ හමුදාවට යන හීනෙත් ඇතෑරලා දැම්මා. කාලයත් එක්ක සාමාන්‍ය පෙළ ලියන කාලේ ආවා. දෙපාරක්ම ෆේල් වුණා. අන්තිමේ මටම එපාවෙලා ඉස්කෝල ගමන අතෑරලා දැම්මා. ඊටපස්සේ තරුණ සේවා සභාවේ පුහුණුව ලබලා වඩු කර්මාන්තය කරන්න පටන් ගත්තා. ගොඩාක් ගැහුවේ ලොකු ලොකු ගෙවල්වල වහලවල් නැත්නම් සිවිලිම්. ඔය අතරේ මටම හිතුණා මං මෙහෙම කරන්න ඕනේ කොල්ලෙක්ද කියලා. මට ජීවිතේ වෙනස් කරගන්න හිතුණා. ඒත් ඒ කොහොමද කියලා තේරුමක් තිබුණේ නෑ.

ඔය අතරේ තමයි මට මගේ ජීවිතේ වෙනස් කරපු දෙවියාව මුණගැහුනේ. ඒ මගේ ගණිත ගුරුවරයා වෙච්ච ආනන්ද ගුණතිලක සර්. ඒ වෙනකොට සර් අනුරාධපුරේ ස්වර්ණපාලි බාලිකා විද්‍යලයේ වැඩ කළේ. සර් ගමේ පන්සලේ ගණිතය පන්තියක් කළා. ඒකට මාවත් බලෙන් වගේ ගෙන්න ගත්තා. මුලින් අකමැති වුණත් පස්සේ පස්සේ ගියා. ටික දවසකින් යාන්තමට එක ගාණක් හදන හැටි අල්ලාගත්තා. ඔය විදිහට යාන්තමට ගණන් ටික ටික හැදුවා. ඒත් එක්කම විසිකරලා දාපු ඉස්කෝල පොත්පත් ටික දූවිලි පිහදාලා අතට ගත්තා. ඒ වෙනකොට විභාගයට තිබුණේ මාස දෙක තුනයි. අන්තිමේ තුන්වෙනි සැරේට ලියලා සාමාන්‍ය පෙළ ගොඩ ගියා. ෆේල් වුණේ ඉංග්‍රීසි විතරයි.

මං උසස් පෙළට ඉස්කෝලේ යන්න පටන් ගත්තා. වයස වැඩි හින්දා ළමයි හැත්තෑ ගණනක් අතරින් මං පන්තියේ වැඩිමලා වුණේ. ඔය අතරේ තමයි ජීවිතේ පළවෙනි වතාවට මං පන්තියේ පළවෙනියා වෙන්නේ. අන්තිමේ උසස් පෙළ පාස්වුණා. නිකන් නෙවෙයි කැම්පස් යන්නම පාස්වුණා. තාත්තා තමයි වැඩිපුර සතුටුවුණේ. ඒත් ටික කාලෙකින් එයා නැතිවුණා. ඒත් උසස් පෙළ සමත්වෙලා මං එයාව සතුටු කරපු එක ගැන මට අදටත් සතුටක් තියෙනවා.

මං එන්නේ ජයවර්ධනපුර කැම්පස් එකට. ඒ 1999 අවුරුද්දේ. අතේ රුපියල් 520ක් තියාගෙන එන්නේ. කැම්පස් ජීවිතේ හැමදේටම සල්ලි හොයාගන්න රැකියා කීපයක් කළා. සපත්තු මැහුවා. මේසන් වැඩ කළා. බස්වල ඇඳුම් පවා විකුණුවා. ඔයඅතරේ කැළණිය කැම්පස් එකෙන් පශ්චාත් උපාධියත් කරලා බුද්ධශාසන නිලධාරියෙක් විදිහටත් රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් කළා. කාලයත් එක්ක 2004 අවුරුද්දේ ජපුරේ උපාධිය අවසන් කරලා පුරාවිද්‍යාඥයෙක් වුණා. එතැනින් පස්සේ මහාචාර්යවරයෙක් දක්වා ආවා. හැබැයි මගේ ගේ ඇතුළෙදි ඒ තානාන්තර කිසිම දෙයක් මගේ නෑ.

මගේ බිරිඳ තනූජා දමයන්ති දිසානායක. ආදරේට කියන්නේ දම්මි කියලා. 1997 අවුරුද්දේ උසස්පෙළ පන්තියේදි මුණගැහුනේ. එයාට කැම්පස් එන්න බැරිවුණා. ඒත් ගුරු විද්‍යාලයට ගිහින් එයා ගුරුවරියක් වුණා. මගේ කැම්පස් ජීවිතේ අන්තිම කාලේ අපි විවාහ වුණේ. හරියටම කිව්වොත් 2003 අවුරුද්දේ. ඒ කාලේ එයත් එක්ක විජේරාමේ ඉඳන් ගෝල්ෆේස් යනවා ෆුට් සයිකලේ. හැබැයි පස්සේ බයික් එකක් ගත්තා. ඒක තමයි මං අදටත් පදින්නේ. තාමත් ඒ අතීත‍යට මං ආදරෙයි. දම්මි තමයි මගේ ජීවිතේ එකම ආශිර්වාදය. මගේ ජීවිතෙන් 90%ක බරක් දරන්නේ එයා. ඒ නිසා එයා නැති ජීවිතයක් මට අදටත් හිතාගන්න බෑ.

එදා 2013 සැප්තැම්බර් 03 වෙනිදා. මං පිළියන්දල ඉඳන් කැම්පස් එකට එන ගමන් හිටියේ. වෙලාව 7.35ට ඇති. වෙලාවේ මට කෝල් එකක් ආවා. ඒ බිරිඳගෙන්. ඒත් ඒ වෙලාවට එයා කෝල් කරන්න විදිහක් නෑ. හේතුව ඒ එයා ඉස්කෝලේ යන වෙලාව. හදිස්සියක්ද දන්නෑ කියලා මං ආන්සර් කළා. එහා පැත්තෙන් කතා කළේ වෙන ගෑනු කෙනෙක්. එයා කිව්වා මේ ෆෝන් එකේ අයිතිකාරිය ටිකකට කලින් ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලා. මං ඒ ගමන්ම මැදවච්චියේ පොලිසියේ OIC දිසානායක මහත්තයටයි, මගේ සහෝදරයෙක් වෙන ජයන්තටයි කෝල් කරලා කිව්වා දම්මි අහවල් තැන හැප්පිලා මැරිලා කියලා කෝල් එකක් ආවා. ඒත් මට විශ්වාසයි එයාගේ කොහේ හරි තැනක පණ ඇති කියලා. ඒ නිසා පුළුවන් ඉක්මණට රෝහලට ගෙනියන්න කියලා.

එයා අරන් ඇවිත් තිබුණේ මැදවච්චිය රෝහලට. ඒ මෘතදේහයේ කොටස් එකතු කරලා ගෝනි කෑල්ලකට දාලා ඩිමෝ බට්ටා ලොරියක දාගෙන. පස්සේ එයා අනුරාධපුර රෝහලට මාරුකරලා. ඒ අරන් යද්දි මං හිතුවා වගේම එයාට පණ තිබුණා. ඒත් එයා මාව අඳුරගත්තේ දැඩි සත්කාරේ දවස් විසි හතක් හිටියට පස්සේ. ඒ වෙනකොට එයාගේ කටේ දත් හතරක් නෑ. අතක් දෙපොලකින් කැඩිලා. වකුගඩු තැලිලා. උකුල් ඇටේ පුපුරලා. ඒත් එදා ඉඳලා මං දම්මිට කවදාවත් නැති තරමට ආදරේ කරන්න ගත්තා. ඒ වෙනකොට අපිට පුතාලා දෙන්නෙක් හිටියා. දැන් දුවෙකුත් ඉන්නවා. එදා මට ඒ අවස්ථාව ගන්න පුළුවන්කම තිබුණා නම් මං දෙපාරක් නොහිතා ගන්නවා. මොකද මට වඩා හොඳට එයාට දරුවෝ බලාගන්න පුළුවන් කියලා මට විශ්වාසයි.

සොබාදහමේ නියමයට අනුව අදාළ කාලේ ආවම අපි දෙන්නට වෙන වෙනම යන්න වෙනවා. ඒත් මං අදටත් ආසයි ඇයට කලින් ඒ ගමන යන්න. මොකද මං ආදරේදි පුදුම විදිහට ආත්මාර්ථකාමියි. මට කලින් ඇය මියයනවා බලන්න මට බෑ. අනික එයා මුලින් ඒ ගමන ගියොත් දරුවන්ට ඒක දරාගන්න බෑ. ඒත් මං එයාට කලින් ගියොත් මට විශ්වාසයි එයා දරුවෝ වෙනුවෙන් හරි ඒක දරාගෙන දරුවන්ගෙත් හිත හදාගෙන ජීවත්වෙයි කියලා. දැන් මං මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්. ඒත් මං මොන තැනක හිටියත් මගේ බිරිඳගෙන් එන කෝල් එක මං අතපසු කරගන්නේ නෑ. මොකද ඇය නැතුව මට ඉන්න බෑ. ඉඳලා වැඩක් නෑ. මං හරිම කැමති ගීතයක් තියෙනවා. ඒ ගීතය ඇතුළේ තියෙන්නේ මං එයාට තියෙන ආදරේ කියලා ඒක අහන වාරයක් ගානේ මට හිතෙනවා. ඒ ගීතය පටන් ගන්නේ මෙහෙමයි.

අවසන් හුස්ම ගිළිහෙන මතු යම් දිනෙක

අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න

නුඹ නැතිදාක මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න’

 

රුවන් එස්.සෙනවිරත්න