විශේෂාංග

මමත් ගෑස් එකක් හොයාගත්තේ දවස් හතරක් ඇවිදලා -පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

ගෑස් පෝලිම, පොහොර ගැටලුව මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ, කාන්තාවන් මුහුණදෙන ගැටලු එකම ස්වරූපයක් ගනී. අතේමිටේ මුදල් තිබුණත් දින ගණන් ගෑස් පෝලිම්වල ඉන්නට බොහෝදෙනෙකුට සිදුව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නේ මේ ඇතැම් ප්‍රශ්න ඈතින් තිබුණු ඒවා බවයි. කඩිගුලකට අත දමනවා මෙන් ඒවා අවුස්සාගෙන ඇතිමුත්, එම තීරණ තවමත් නිවැරදි කරන්නට හැකි බවද ඇය කියන්නීය. මේ ඇය හා ‘ධරණී’ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.

ආණ්ඩුව පසුගියදා සහන මල්ලක් දුන්නත්, කාන්තාව බත ඉදවගන්න බැරි තැනක හිරවෙලා?

ඇත්තටම ජනතාව පීඩාවට පත්ව ඉන්නා අවස්ථාවක් නිසයි ඒ සහන ලබාදෙන්න බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරන්න ඇත්තේ. එය හොඳ දෙයක්. කොහොම වුණත් එය තාවකාලික පිළියමක් මිස පවතින ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව පැහැදිලියි. මට හිතෙනවා, ගොවි ජනතාවට පොහොර ටික නොමිලේ ලබාදෙන්න කටයුතු කළා නම් එය වැදගත් කියලා.

ගමේ ගොඩේ නම් කොස් ටිකක් තම්බලා, කිරි හොද්දක් එක්ක වුණත් කන්න පුළුවන්. ගමේ කොළ පළා ටික තියෙනවා. එළවලු ලොකුවට හොයන්නේ නැහැ. ඒත් බත කියන්නේ සිංහලයාගේ ප්‍රධාන ආහාරය. පොහොර ප්‍රශ්නය නිසා හාල් ටික නොලැබෙන එකත්, එහෙම නැත්නම් මිල වැඩිවෙන එකත් මිනිස්සුන්ට දැඩිව බලපානවා. ඒ වගේමයි ගෑස් ප්‍රශ්නය නිසා බොහෝදෙනෙක් පීඩාවට පත්වෙලා. සල්ලි තිබුණත් අද බත ඉදවගන්න ගෑස් එක ගන්න ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා.

ඒ සටන කරලා ගෑස් එකක් අරගත්තත් කොයිවෙලේ පුපුරයිද කියන බයෙනුයි ජනතාවට ඉන්න වෙලා තියෙන්නේ.

ඔව්. මම නම් කියන්නේ මේවායේ වගකීම දරණ පිරිසක් ඉන්නවනේ. ඇමතිද, සභාපතිද වෙනත් නිලධාරියෙක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. අස්කරනකල් නොඉඳ හරිනම් ඒ අය ඉල්ලා අස්වෙන්න ඕන. කොරෝනා නිසා එදාවේලත් අහිමි වෙච්ච මිනිස්සු ඉන්නේ. ඔවුන් ජීවත්වෙන්න අරගල කරනවා. ඒ වගේම අතේ සල්ලි තිබුණත් නැතත් සෑම තරාතිරමකම කාන්තාවන්ට අද එළවලු ටික ගන්න ගියහම දෙපාරක් හිතන්න වෙනවා. ඒ අරන් ඇවිල්ලත් ගෑස් එක පත්තු කරද්දි කොයිවෙලේ පුපුරයිද කියන තිගැස්ම එනවා. මේ සමහර ප්‍රශ්න පැත්තක යද්දි අපි ඇදලා ඇඟට දාගත්තු ඒවා. පොහොර ප්‍රශ්නයත් අහක තියෙන කඩිගුලකට අත දාලා අපිම අවුස්සගත්තු එකක්. මම ජනාධිපතිතුමාට කියන්නේ, අපිට මේ වෙලාවේ ජනතාවට දෙන්න පුළුවන් හොදම සහනය තමයි පොහොර ටික​ ගෙන්වලා, ඊළඟ කන්නය වගා කරගන්න නොමිලේ ලබාදෙන එක. එකපාරක් ජනතාවට නොමිලේ පොහොර ටික දෙන්න කියලයි මම ඉල්ලන්නේ.

කුඩා තේ වතු හිමියෝ රැසක් බෙන්තර ඇල්පිටිය ප්‍රදේශවල ඉන්නවා. තමන්ගේ ගෙවත්තේ එහෙමත් නැත්නම් අක්කර බාගේ, කාලේ, පර්චස් කිහිපයේ තේ වගා කරගෙන එදිනෙදා ජීවිකාව ගෙනයන උදවිය. එදා තේ දළු කිලෝ සීයක් ගත් කෙනාට පොහොර නැතිකම නිසා කිලෝ විස්සයි තිහයි අද ලැබෙන්නේ. කිලෝ පනහ ගත් කෙනාට දහය පහළොවයි ලැබෙන්නේ. කුරුඳු වගා කරන අයටත් එහෙමයි. මම ගමේ ගොඩේ ඇවිදින කෙනෙක් විදියට මේ සත්‍යය දකිනවා. මිනිස්සු හරි වේදනාවෙන් කතා කරන්නේ. කාබනික වගාව නරක නෑ. ඒක හොඳ දෙයක්. ඒත් කොරෝනා නිසා ලෝකෙම වැටිලා ඉන්න මොහොතක මේ ඉන්න තැනින් නැගිටින්නයි අපි බලන්න ඕන. ආණ්ඩුව ජනතාවට එන්නත් ලබාදෙන්න විශාල මුදලක් වැය කළා. අද ඩොලර් ගැටලුවකටත් අපි මැදිවෙලා. රටක් හැටියට නැගිටින්න නම් සාමූහිකව අපි මේවට පිළිතුරු සොයන්න ඕන. කාබනික වගාවට හෙමින් යමු. එහෙම නැති වුණොත් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපහසුයි.

කාබනික වගාව සාර්ථක කරගන්න අපි සෑහෙන දුරක් යා යුතුයි කියලද ඔබ කියන්නේ?

ඔව්. තනිකර කාබනික වගාව කරන්න නම් තව අවුරුදු තිහ හතළිහක්වත් යාවි. මේ පො‍ළොව දැන් රසායනික පොහොරට හුරුවෙලා. ඒ තත්ත්වයෙන් මිදෙන්න කාලයත් එක්ක ක්‍රමානුකූල වැඩපිළිවෙලකට යා යුතුයි.

මට මතකයි මම ස්විස්ටර්ලන්තයේ ඉඳිද්දී ඒ ආණ්ඩුව කාබනික පොහොරවලින් වගා කරන්න ඕන කියන යෝජනාව ගෙනැත් ජනමත විචාරණයක් තිබ්බා. තැපැල්පතකින් තමයි ඊට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න තිබුණේ. ඒ වෙලාවේ අති බහුතරයක් ඊට අකමැත්ත ප්‍රකාශ කළා. ඒ නිසා එය ක්‍රියාවට නැංවූයේ නැහැ. මොකද ඒ ජනතාව දැනගෙන හිටියා එහි බැරෑරුම්කම. ඔවුන් කාබනික පොහොරට අකමැති නිසා නෙවෙයි එහෙම කළේ. ඒ රටේ හැම ගෙදරකම වගේ පුංචි එළවලු කොරටුවක් තියෙනවා. මාලුමිරිස්, කැරට්, ලීක්ස් වගේ ගෙදර භාවිතයට ගන්න බෝග වගා කරනවා. ඒවට පොහොර විදියට යොදන්නේ මුළුතැන්ගෙයින් ඉවත් කරන එළවලු කැබලි වගේම දිරන අපද්‍රව්‍යයි. ටික කාලයක් ඒවා බඳුනක දාලා තිබුණම කාබනික පොහොර හැදෙනවා. ඒක වෙනමම දෙයක්. ඒත් මහා පරිමාණයෙන් කාබනික වගාවට යද්දී ඒ ගැන හිතන්න වෙනවා. පොහොර ප්‍රශ්නය විතරක් නෙවෙයිනේ තියෙන්නෙ. ගෑස් ප්‍රශ්නය, බඩු මිල ඉහළ යෑම වගේ මේ සියල්ලෙන්ම වැඩිපුර පීඩා විඳින්නේ කාන්තාවන්.

ඔබ එහෙම කියන්නේ ඇයි?

අපේ රටේ කාන්තාවෝ, අම්මලා හරිම පව්. ඇයට සැනසීමෙන් ඉන්නම නැහැ. තිස් වසරක යුද්ධය වගේම, දකුණේ භීෂණය නිසා මව්වරු පීඩාවට පත්වුණා. යුද්ධය ඉවරවෙලා හුස්මක් ගන්න හදද්දිම කොරෝනා ඇවිත් ආර්ථිකය එකතැන හිර කළා. ගෑස් ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න එන්නේ මේ කියන ප්‍රශ්න හමුවෙයි. අද ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම, මේ හැමතැනම කාන්තාවෝ පීඩා විඳිනවා.

ඔබට මේ කියන ගෑස් ප්‍රශ්නය බලපෑවේ නැද්ද?

මටත් තදින්ම බලපෑවා. බොරු කියන්න ඕන නෑනේ, මම දවස් හතරක් ගෑස් හොයන්න ගියා. මම වාහනෙන් බැස්සේ නෑ. ජනතාව මාව දැක්කොත් ඒ අය අහන දේවල්වලට මට දෙන්න උත්තර නැහැනේ. ඒ නිසා මගේ රියදුරු මහතා තමයි ඒ අවස්ථාවල ගෑස් තියෙනවද කියලා කඩවලින් විමසුවේ. ජනතාව ​පෝලිම්වල ඉන්න හැටිත් මම දැක්කා. මම අන්තිමට ගෑස් එකක් හොයාගත්තේ හෝටලයක් කරන මගේ යාළුවෙක්ගෙන්. ගෑස් ප්‍රශ්නය මම විසඳගත්තේ එහෙමයි. කොහොම නමුත් මේ ගැටලුව ඉක්මනින්ම විසඳාගත යුතුයි.

ගෑස් ලැබෙනවා වගේම එය පුපුරායාවි කියන බයටත් ​ඉක්මන් විසඳුමක් අවශ්‍යයි නේද?

ඇත්තටම ඔව්. අර පළවෙනි ගෑස් එක පුපුරලා රූපවාහිනියේ පෙන්වද්දී මම අත්දෙකෙන් මුහුණ වහගත්තා. ඒ ගැන මටත් කටුක අත්දැකීම් තියෙනවා. ඒ කාලෙකට කලින් මගේ ගෙදරත් ගෑස් කාන්දුවක් වෙලා මට රෝහල්ගත වෙන්නත් සිදුවුණු නිසා. එතැනදී වුණෙත් ගෑස් ටැංකිය පිපිරීමක් නෙවෙයි, රෙගියුලේටරයෙන් ගෑස් කාන්දුවීමකුයි වුණේ. සිද්ධිය වෙද්දි මම ටිකක් ඈතින් සිටි නිසා හානිය අවම වුණා. ඒත් අද ගෘහණියෝ බයයි කොයිමොහොතේ ගෑස් එක පුපුරා යයිද කියලා. මීට පිළියම් යොදන එක වගකිව යුත්තන්ගේ වගකීමක්. ඒ අතරේ සමහරු බලා ඉන්නවා ආණ්ඩුව බිඳ වැටෙනකල්. මම කියන්නේ ආණ්ඩුවේ වැරදි හදාගෙන සාර්ථක ගමනක් යන්න තවම පුළුවන්. පොහොර ටික එක වරක් හරි නොමිලේ ගෙන්වලා ගොවි ජනතාවට නොමිලේ දෙන්න. ඒ ගොවි, ගෙවිලියන් ඇතුළු පුංචි මිනිහගේ හිත්වල ගින්දර නිවලා දාන්න පුළුවන් එතකොටයි.

දීපා වසන්ති එදිරිසිංහ