විශේෂාංග

ගහෙන් වැටුණු දරුවන්ට මීට පස්සෙ ගොනා අනින්නෙ නෑ

‘‘උසාවි ගානේ ගිහින් රටේ ලෝකේ මිනිස්සු ඉස්සරහ ඕවා කියලා උඩ බලාගෙන කෙළ ගහගහන්න පුළුවන් කාටද? ඊළඟට රට්ටුන්ට මූණ දීගන්න බැරුව වහ කාලා මැරෙන්නයි වෙන්නෙ.’’

ලිංගික අතවරයන්ට පත් දරුවන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් බොහෝවිට මුනිවත රකින්නට තීරණය කරන්නේ එහෙම කියාය.

ඊට හේතුව අතවරයකට ලක්වුණු දරුවෙකු සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රසිද්ධියේ නඩුව විභාග වනවිට පිරිසක් ඉදිරියේ දරුවා නැවත අපහසුතාවයට පත්වන නිසාය. එය හඳුන්වන්නේ නව නින්දිතභාවයකට පත්වීමක් ලෙසය. නමුත් එහෙමයි කියා දරුවෙකු අතවරයකට ලක්වූ විට නිහඬව සිටීම කළ නොයුත්තකි. මේ නිසා අපවාදයට බියෙන් නිහඬ වන එවැනි අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය පෙරමුණ ගෙන ඇත. එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ උපදේශිකා ‘සජීවනී අබේකෝන්’ මහත්මිය සමඟ ඒ පිළිබඳව අප කළ සංවාදයේ සටහනයි මේ.

‘‘මම උදාහරණයක් එක්කම මේ කතාව පටන්ගන්නම්. ටික කාලෙකට කලින් අවුරුදු 16ක විතර අතවරයකට පත්වුණ ගෑනු දරුවෙකුට සාධාරණයක් බලාපොරොත්තුවෙන් නීතිමය පියවරකට යන්න දෙමව්පියන්ට අවශ්‍ය වුණා. ඒත් මේ දරුවා හරස් ප්‍රශ්න අහනකොට ලැජ්ජාවට පත්වෙයි කියන බයට උසාවි කූඩුවට නගින්නම බෑ කියලා, අන්තිමට නඩුවත් එපා කියන තත්ත්වෙට පත්වුණා. බොහෝවෙලාවට මේ අපචාරවලට ලක්වෙලා එන්නෙ අවුරුදු 10-16ත් අතර දරුවො. ඒකත් තමන්ගෙම තාත්තගෙන්, සීයාගෙන්, ඥාතියෙකුගෙන් එහෙමත් නැත්නම් මවගේ අනියම් සැමියාගෙන්. එතකොට ගෙඩාක් අය ඉස්සරහ තමන්ට සිද්ධ වෙච්ච දේ කියන්න එයාලා ලැජ්ජා වෙනවා. අනිත් එක පවුලේ නම්බුව, එයාලගේ ආත්මගරුත්වය නැතිවෙයි කියලා වැඩිහිටියො බය වෙනවා.’’

ළමා අපචාර සහ අපයෝජන සම්බන්ධව අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කිරීමට ‘ජාතික ළමා රක්ෂණ අධිකාරිය’ නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට යන්නේ මේ ගැටලුවට විසඳුම් ලබාදීමටය.

‘‘මේකෙදි කරන්නෙ දරුවාව උසාවියට ගෙනියන්නෙ නැතුව දරුවාගේ සාක්ෂිය විතරක් පටිගත කරලා උසාවියට ඉදිරිපත් කරන එක. ඇත්තම කිව්වොත් වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ළමා රක්ෂණ අධිකාරියට අලුත් දෙයක් නෙවෙයි. 2004 අවුරුද්දෙ ඉඳලම මේ ක්‍රමය ළමා රක්ෂණ අධිකාරියේ තලවතුගොඩ ප්‍රධාන කාර්යාලයේදි ක්‍රියාත්මක වුණා. නමුත් මුළු රටටම තියෙන්නෙ එතැන තියෙන පටිගත කිරීමේ මැදිරිය විතරයි. එතකොට එතැන තියාගෙන මුළු රටේම දරුවන්ගෙ සාක්ෂි පටිගත කරද්දි නඩු ප්‍රමාදයට ලක්වෙනවා. ඒක නිසා මේ ක්‍රමය රටේ පළාත් නවයෙම රෝහල් නවයක ස්ථාපිත කරන්න තමයි කටයුතු කරන්නේ.’’

මෙම පටිගත කිරීමේ මධ්‍යස්ථාන පොලිස් ස්ථාන තුළ ස්ථාපිත නොකර රෝහල් තුළ ස්ථාපිත කරන්නේ, ළමා මිතුරු පරිසරයක නඩු ඇසීමට අවශ්‍ය නිසාවෙන් බවයි ඇය කීවේ. තවද මෙම වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට මෙහි මුල් පියවර වශයෙන් රාගම ශික්ෂණ රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙම මැදිරි ස්ථාපිත කරන බවත් මේ වනවිට එයට කැබිනට් අනුමැතියද හිමිව ඇති බව ඇය පැවසීය.

‘‘හැබැයි මෙහෙමයි. මේ ක්‍රමයෙන් පුළුවන් දරුවාගේ මූලිකම සාක්ෂිය පටිගත කරලා උසාවියට ගෙනියන්න විතරයි. නමුත් හරස් ප්‍රශ්නවලට සාක්ෂි සපයන්න දරුවන්ට උසාවියේ පෙනී හිටින්න වෙනවා. ඒකට පිළියම් විදියට දරුවන්ව සජීවී දුරස්ථ පාලක මැදරියක තියලා උසාවියට සම්බන්ධ කරවන්න අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා (දුරස්ථ සාක්ෂි ලබාදීමේ මධ්‍යස්ථාන).’’

දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම්වල නිරවද්‍යතාවය මෙන්ම සුරක්ෂිතභාවය ගැනද ඇය පැහැදිලි කළාය.

‘‘අපි පටිගත කරන සාක්ෂිය ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සෝදුපත් නිලධාරියා විසින් ලිඛිතවත් සටහන් කරගන්නවා. එතැනින් එහාට සෝදුපත් නිලධාරියාත්, සාක්ෂිය පටිගත කරන තාක්ෂණික නිලධාරියාත් උසාවියට ගිහිල්ලා මේ වීඩියෝ සාක්ෂි නිරවද්‍යයි කියලා සාක්ෂි සපයනවා.’’

පසුව එම වීඩියෝ සාක්ෂි පට නඩුභාණ්ඩ වශයෙන් උසාවියේ සළකුණුකොට, ආරක්ෂිතව තබන බවත්, අවශ්‍ය නම් පමණක් උසාවියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇය කීවාය. ඒ හැර වෙනත් කිසිඳු හේතුවක් නිසාවෙන් තුන්වෙනි පාර්ශවයකට ඒවා ලබා නොදන බවයි ඇය කීවේ.

‘‘විශේෂයෙන්ම මේකත් කියන්න ඕන. අධිචෝදනා ගොනු කරලා මහාධිකරණයට නඩුවක් භාරදෙනකොට අවුරුද්දක් හෝ දෙකක දීර්ඝ කාලයක් ගතවෙනවා. ඒ තරම් කාලයක් යද්දි දරුවන්ට එයාලට සිදුවුණ අතවරයේ ස්වභාවය අමතක වෙලා යන්න පුළුවන්. ඒ වගේම විරුද්ධ පාර්ශවවලින් සාක්ෂිවලට යම් යම් බලපෑම් ඇතිවෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ තාක්ෂණික ක්‍රමවේදයක් තුළින් මේ කටයුත්ත කරද්දි ඒවගේ ප්‍රශ්න බාධකත් මග ඇරවගන්න පුළුවන්.’’

යම්හෙයකින් දූෂිත තත්ත්වයකට පත් වුවහොත් පොලිසියට, උසාවියට යාම ප්‍රසිද්ධියේ දූෂණයට ලක්වනවාට සමාන යැයි කියනා අය අප අතර ඕනෑතරම්ය.

‘‘යම්කිසි හේතුවක් නිසා දරුවෙක් දූෂිත තත්ත්වයකට පත්වෙලා නම්, කිසිම පැකිළීමකින්, බියකින් තොරව නීතිය ඉදිරියට එන්න කියලයි මම කියන්නේ. මොකද ජාතික ළමාරක්ෂණ අධිකාරිය විදියට අපි බොහොමත් වගකීමකින් මේ කටයුතු ඉටු කරනවා කියන එකත් අවසාන වශයෙන් කියන්න ඕන.’’

පසුව අප ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතාවද සම්බන්ධ කරගත්තේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටය.

‘‘අපේ රටේ අපරාධ නීතියට අනුව ළමයින්ට එරෙහිව සිදුකරන අපරාධ අතරින් දරුණුම අපරාධ ලෙස සැළකෙන්නේ ළමයින් කෲරත්වයට භාජනය කිරීම සහ ලිංගික අපයෝජනයට ගොදුරු කරගැනීම. එවැනි ළමා අපයෝජන සිද්ධියකදී මුලින්ම පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තමයි දරුවෙක්ව අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කරන්නෙ. ඊටපස්සෙ තමයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ආරම්භ කරන්නෙ. එහෙම නඩු විභාගයක ප්‍රධාන සාක්ෂිකරුවා බවට පත්වෙන්නෙ දූෂිතභාවයට පත්වෙච්ච දරුවා. එතකොට ඒ දරුවාට විත්තියේ හරස් ප්‍රශ්නවලට පෙනී සිටින්න වරින්වර උසාවියට යන්න වෙනවා. එහෙම අවස්ථාවලදී ඒ දරුවව මාධ්‍යට නිරාවරණය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනික දරුවගේ අනාගතයට වුණත් බලපෑමක් වෙන්න පුළුවන්. අපේ මේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ක්‍රියාවලියේ මූලිකම අරමුණ වෙන්නේ දරුවන්ව ඒ අපහසුතාවන්ගෙන් මුදවාගැනීම.

ඊළඟ කාරණාව මේ සාක්ෂි පටිගත කිරීමේ නිල නීතිමය බලය පැවරිලා තියෙන්නෙ ජාතික ළමා රක්ෂණ අධිකාරියට නිසා පොලිසි උසාවිවලින් ඒ සාක්ෂි ලබාගන්න ඉල්ලීම් කරනවා. නමුත් එන්න එන්නම ළමා අපචාර වැඩිවෙද්දි ඉල්ලන පමාවට අපිට ඒවා ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. නිසයි රටේ පළාත් නවයෙම පටිගත කිරීමේ මැදිරි ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය හිමිවුණේ. මේ වෙද්දි අපි ඒ වෙනුවෙන් පලපුරුදු කාර්යමණ්ඩලයක් බඳවාගන්න පටන් අරන් තියෙන්නෙ. මොකද මේ සාක්ෂි පටිගත කිරීම් බොහොම වගකීමෙන් කරන්න ඕන දෙයක්. පොඩි හරි වැරදීමක් වුණොත් සැකයේ වාසිය අරන් විත්තියේ පාර්ශවය ක්‍රියාත්මක වුණොත් දරුවට අසාධාරණයක් වෙන්න පුළුවන්. අන්න ඒ අවධානම නොගන්න තමයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අපි මුලින්ම දරුවන්ව මනෝ උපදේශනවලට යොමු කරලා මනස සැහැල්ලු කරලා සාක්ෂි පටිගත කරන්නේ. මේ ක්‍රියාවලිය සාර්ථකව වුණොත් අසරණ වුණු අහිංසක දරුවන්ට අධිකරණයේදී සිදුවෙන අපහසුතාවයන් මගහරවාගන්න ජාතික ළමා රක්ෂණ අධිකාරියට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ’’

ලිහිණි මධුෂිකා