අවුරුදු දහයක් රෝද පුටුවේ ඉඳලා අන්තිමට මම කැලණිය කැම්පස් එකට ආවා -ධනංජය සම්පත් විජේරත්න
‘රිදී තිරයම පරාදයි’ කියලා නළුවෙක් වගේ පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙකුගේ පින්තූර කීපයක් දැන් දින කිහිපයක ඉඳන් මුහුණුපොතේ එහා මෙහා වෙනවා. වැඩිම ප්‍රතිචාර තිබුණෙත් කාන්තා පාර්ශවයෙන් නිසා අපිත් ඒ පින්තූරවල ඉන්න තරුණයා ගැන ටිකක් අවධානයෙන් හිටියේ. ඒ වගේම අපි දැකපු ඔහුගේ පින්තූර සියල්ලේම වගේ එක විශේෂත්වයක් තිබුණා. ඒ තමයි ඔහු රෝද පුටුවක ඉඳගෙන සිටීම. ඒ නිසාම රෝද පුටුවකට වෙලා ලස්සන හිනාවක් එක්ක ගෑනු ළමයි පිස්සු වට්ටන මේ තරුණයා එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා අපි හිතුවා. ඔහුගේ හිනාව පිටුපස සැඟවුණු ලොකු කතාවක් තියෙනවා කියලා අපි දැනගත්තෙ ඒ කතාබහට පස්සෙ. ඒ කතාව තමයි මේ.
‘‘මගේ ගම මල්වාන. එතකොට මට වයස අවුරුදු 15යි. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 10 පන්තියේ මම හිටියේ. ඉස්කෝලේ ඇතුළේ මං අධ්‍යාපනයට වගේම ක්‍රීඩාව පැත්තටත් බරයි. ක්‍රීඩා තරඟවලින් ලොකු ජයග්‍රහණයත් අරන් තියෙනවා. ඒ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයට තිබුණේ හරියටම අවුරුදු එකහමාරක් වගේ කාලයක්. ඒ නිසා මොන දේ කළත් විභාගයට මූලිකත්වය දුන්නා. මගේ ලොකුම හීනය වුණේ කැම්පස් යන එක. සාමාන්‍ය පෙළ ගොඩදාගන්න බැරිවුණොත් ඒ හීනය බොඳවෙනවා. ඒ නිසා පුළුවන් හැම විදිහටම මං සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මහන්සි වුණා.
එදා පොසොන් පෝය දවසක්. අපේ ගමෙත් බත් දන්සලක් දෙන්න ලෑස්ති වෙලා හිටියේ. මමත් එතැනට ගිහින් පුළුවන් විදිහට උදව් කළා. මොකද මම ඒ වගේ පින් අතේ වැඩවලට හරි ආසයි. ගමේ එහෙම කටයුත්තක් තිබුණොත් කවදාවත් ඒක මඟඇරියේ නැතුව ගියා. ගිහින් දුවලා පැනලා මට පුළුවන් දේ කළා. කොහොම හරි එදා දන්සලේ බටු ව්‍යංජනයට වම්බටු කපන වැඩේ තව කීපදෙනෙක් එක්ක මං බාරගත්තා. ඒත් කරුමෙට වගේ බටු ගෙඩි තුන හතරයි කපන්න ලැබුනේ. අත ලිස්සලා ගිහින් මගේ අතේ ඇඟිලි දෙකක් පිහියට කැපුනා. ඒක දැනෙන්නම කැපුනා. අන්තිමේ බෙහෙත් දාන්න රෝහලට යන්න වුණා. අඳුරන අයියා කෙනෙක් එක්ක බයික් එකක ගියේ. ඒත් ටික දුරයි යන්න ලැබුණේ අපිව හැප්පුනා.
මට මතක අපි හැප්පෙනවා විතරයි. හැප්පුනේ මොකේද කියලවත් මං දැක්කේ නෑ. මං හිතන්නේ ඒ ගමන්ම මට සිහිය නැතිවුණා. මාව අරන් ගිහින් තිබුණේ කොළඹ මහරෝහලට. රෝහලේ මාස ගාණක්ම ඉන්න වුණා. මතුපිටින් පෙනුණේ කොන්දේ පොඩි තුවාලයකුයි දණහිසේ පොඩි තුවාලෙකුයි විතරයි. හැබැයි ඇඟ ඇතුළේ ලොකු ඩැමේජ් එකක් වෙලා කියලා වෛද්‍යවරු කිව්වා. එක දිගටම මාස ගාණක් මං හිටියේ ඇඳ උඩ. ලොකු පාලුවක් තනිකමක් දැනුණා. මානසික මට්ටම වුණත් ගොඩාක් පහළට වැටුණා. ඔය අතරේ තමයි දෙපයින් ඇවිදපු කිසිම මනුස්සයෙක්ට වැරදිලාවත් ඇහෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන කතාවක් වෛද්‍යවරු මට කිව්වේ. ඒ ආයෙත් මට ඇවිදින්න බෑ කියලා. එදා මට දැනුණු ඒ අසරණකම මට මෙහෙම කියන්න තේරෙන්නේ නෑ.
මාස කීපයකට පස්සේ මං ගෙදර ආවේ රෝද පුටුවෙන්. ඒක හරි වේදනාකාරී අත්දැකීමක්. එදා ඉඳන් වෙනදා දෙපයින් ඇවිදන් ගිය ගොඩාක් තැන්වලට මට යන්න වුණේ රෝද පුටුවෙන්. ඒ නිසාම මට ඉස්කෝල ගමන මඟඇරුණා. මුල් කාලේ පාසල් යන්නම වුණේ නෑ. ඒත් ඉගෙනගන්න තියෙන කැමැත්ත උඩ මට ආයෙමත් ඉස්කෝලේ යන්න ඕනේ වුණා. මං තීරණය කළා ඒ වෙනකොට යමින් තිබුණු හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයෙන් අයින්වෙලා ගමේ ඉස්කෝලෙට යන්න. මොකද ඒක ලොකු පහසුවක් කියලා හිතුනා.
රෝහලෙන් ගෙදර ඇවිත් මට ඉන්න ලේසිවුණේ නෑ. එහෙන් අතීතය මතක් වෙනවා. මෙහෙන් ඉස්කෝලේ යන්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඒ අස්සේ මට එක දිගට ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්න අමාරුයි. එහෙම හිටියම කොන්දේ තුවාලේ පෑරෙනවා. ඒත් ඒ ඔක්කෝම අමාරුකම් ඉවසගෙන මං සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ගියා. ඒ වෙනකොටත් මට විභාගය අවුරුදු දෙකක් පහුවෙලා. කොහොමින් හරි දවස් හතක් අමාරුකම් දරාගෙන මං විභාගේ ලිව්වා. තව ලියන්න තිබුණේ විෂයන් දෙකයි. ඔය අතරේ තමයි මට උණ ගැනෙන්නේ. එහෙන් සීතලයි. මෙහෙන් වෙව්ලනවා. ඒත් මං ජැකට් එකක් දාගෙන කෝපි බිබී ඒ විෂයන් දෙකත් ලිව්වා. පස්සේ දැනගත්තා උණ ගැනුණේ තුවාලෙට විෂබීජයක් ගිහින් තිබුණු හින්දා කියලා.
කොච්චර අමාරුකම් මැද්දේ වුණත් 2015 අවුරුද්දේ මං සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා. A2 යි, B1 යි, C4 යි, S2 යි විදියට ප්‍රතිඵල තිබුණේ. S2 ඇවිත් තිබුණේ උණ ගැනිලා තිබුණු දවසේ ලියපු විෂයන් දෙකට. මං උසස් පෙළට තෝරගත්තේ වාණිජ විෂය ධාරාව. ඒත් ඊළඟට තව ප්‍රශ්නයක් ආවා. ඒ තමයි ගමේ ඉස්කෝලේ උසස් පෙළ නොතිබුණු එක. ඒ නිසා මට ආයෙත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට යන්න වුණා. සතියට දවස් දෙකක් වගේ ඉස්කෝලේ ගියේ. ඒ යන හැමදාම ත්‍රීවිල්වල යන්නත් ඕනේ. ඉතින් ආර්ථික අපහසුකම් පවා සෑහෙන්න ආවා. කොහොමින් හරි 2018 අවුරුද්දේ උසස් පෙළ ලියන්න ඔන්න මෙන්න තියෙද්දි කොන්දට දාලා තිබුණු යකඩ ප්ලෙට් එක අයින් කරන සැත්කමකට මුහුණදෙන්න වුණා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එක ළඟ වැටුණු නිසා නිසා මට ඒ සැරේ හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරිවුණා.
එතැනින් මං පොඩ්ඩක් මානසිකව වැටුණා. මොකද කැම්පස් යන්න බැරිවෙයි කියලා මට හිතුනා. ඒ නිසා මං හිතාගත්තා ලබන සැරේ කොහොම හරි උසස් පෙළ ගොඩදාගන්නවා කියලා. එහෙම හිතලා උසස් පෙළට ආයෙමත් සෑහෙන්න මහන්සි වුණා. අන්තිමේ උසස් පෙළ පාස්වෙලා මට කැලණිය කැම්පස් එකට එන්න හැකියාව ලැබුණා. මං කැම්පස් කියලා දැනගත්ත දවසේ මට පුදුම සතුටක් දැනුණේ. දැන් මං කැලණිය කැම්පස් එකේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ පළවෙනි වසරේ ශිෂ්‍යයෙක්. මට කැම්පස් එකේ යාළුවෝ ගොඩාක් උදව් කරනවා. ඔවුන් නොහිටින්න මට කැම්පස් ජීවිතේ ගොඩාක් අමාරු වෙන්න තිබුණා. මට මගේ ගෙදර අය තමයි ලොකුම හයිය. ඒ අය නොහිටින්න මං ගොඩාක් මානසිකව වැටිලා. ඒ වගේම මගේ යාළුවෝ. එයාලට කවදාවත් මං බරක් වුණේ නෑ. එයාලා ට්‍රිප් එකක් ගියත් මාව උස්සන් හරි එක්ක යනවා.
ජීවිතය කියන්නේ මොකක්ද කියලා මට ඇත්තටම තේරුම් ගියේ කකුල් දෙක තිබිලත් ඇවිදින්න බැහැයි කියලා දැනගත්තු දවසේ. ඒත් කවදා හරි මට ඇවිදින්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම හිතාගෙන මං ජීවත් වෙනවා. දැන් මං අවුරුදු දහයකට කිට්ටුවෙන්න ජීවත්වුණේ රෝද පුටුවේ. ඇත්තටම ආයෙත් ඇවිදින්න තියෙනවා නම් පුදුම ආසයි. බෙහෙත් නම් කරනවා. ඒත් ඉතින් තාමත් හරියට සුවයක් නෑ. හිතේ විශ්වාසය තමයි තියෙන්නේ. හැබැයි මං ජීවිතේ ගැන දැන් තේරුම් අරන් ඉන්නේ. අපි හැමෝම ඉපදිලා මැරෙන මිනිස්සු. ඒ නිසා මේ ජීවත්වෙලා ඉන්න පොඩි කාලේ රෝද පුටුවේ හිටියත් මං හිනාවෙලා ඉන්න ගොඩාක් උත්සාහ කරනවා. ඇත්තටම හිනාවෙනවා.’’
ඔහු තමයි මල්වානේ පදිංචි ධනංජය සම්පත් විජේරත්න. කොච්චර ලස්සනට හිනාවෙන්න හැදුවත් ධනංජයගේ හිනාව අස්සේ අපි හැංගිලා තිබුණු කතාවක් දැක්කා. ඒ තමයි ඔහු රෝද පුටුවක ඉඳගෙන මෙච්චර ලස්සනට හිනාවෙනවා නම් ඔහුට ආයෙත් කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් වුණොත් ඔහු කොච්චර නම් ලස්සනට හිනාවෙයිද? ඔහුව දෙපයින් නැගිට්ටවලා ඔහුගේ මූණට ඒ හිනාව ගේන්න පුළුවන් එකම එක මනුස්සයෙක් හරි මේ පුංචි රටේ ඇති. ඒත් අවාසනාවට වගේ ඔහුට තවමත් ධනංජයව මුණැගැහිලා නෑ. ඉතින් මේ ලිපියෙන් පස්සෙවත් ඔහුට ධනංජයව මුණගැහෙයි කියලා අපිත් බලාගෙන ඉන්නවා. ඒ, මෙච්චර වෛද්‍ය තාක්ෂණය දියුණු කාලේ ඔහුගේ හෝ ඇයගේ පිහිටෙන් මේ පුංචි කොල්ලට ආයෙත් දෙපයින් හිටගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිටත් තියෙන නිසා.
රුවන් එස්.සෙනවිරත්න