පිටරට ලොක්කන්ගේ නෝනලා ආවම ආරක්ෂාව දෙන්නෙ මමයි
‘‘මම පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වෙලා පුහුණුවීම් කරද්දි වුණු විශේෂ සිද්ධියකින්ම කතාව පටන්ගන්නම්. අපේ පුහුණවට ඇතුළත් වෙලා තිබුණා කණු දෙකක් අතර ගැටගහපු ලණුවක් දිගේ ලේනෙක් යනවා වගේ යන එකක්. පොළොවේ ඉඳලා මීටර් දහයක් වගේ උඩකින් තමයි මේ ලණුව තිබුණේ. කොහොමහරි එක කණුවක් දිගේ කඳුළු පෙර පෙර ගිහින් ලණුවේ එහා කෙළවරට ආවා. ඒ ගිහින් අනිත් කණුවට පැනලා ඒ කණුව දිගේ පහලට එන්න ඕන. මට ඒක කරගන්න බැරිවුණා. පස්සේ පුහුණුකරුවන් මාව බිමට ගත්තේ ලණුවකින් කොස් ගෙඩියක් බානවා වගේ. හැබැයි ඒ වතාවේ විතරයි එහෙම වුණේ. ඊළඟ වතාවේ මම එය නිවැරදිව කළා. පස්සේ පස්සේ එය මට ඉතාම පහසු කාර්යයක් වුණා.’’
ඇය පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ පළමු කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස උසස්වීම් ලද එන්.ටී.නිරෝෂා කුමාරි මහත්මියයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට, දක්ෂතා දැක්වූ නවදෙනෙකු එදින සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබීය. ඒ එම පිරිසේ සිටි එකම කාන්තා නිලධාරිනිය ඇයයි.
ඇය එම තනතුරට පත්වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කර වසර තිස්නමයකට පසුව වීම විශේෂයකි. පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භකොට වසර නවයක් ගෙවෙද්දී ඊට පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීම සිදුවිය. තවත් වසර පහක් ගෙවෙද්දී උපපොලිස් පරීක්ෂකවරියන් බඳවා ගැණිනි. නිරෝෂා කුමාරි ද එම පළමු කණ්ඩායමට ඇතුළත් වූවාය.
‘‘1997 අවුරුද්දේ තමයි මම පොලිසියට බැඳුණේ. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීම් කරද්දී දස්කම් බලලා අපි දහදෙනෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකායට තෝරගත්තා. විශේෂ කාර්ය බළකායට එක්වෙන්න ඒ අනුව තමයි මට අවස්ථාව ලැබෙන්නේ.’’
ඇය උසස්පෙළ සමත් වන්නේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයෙනි. පාසලේදී ක්‍රීඩාවට බොහෝ සේ උනන්දු වූ ඇය ඉන් බොහෝ ජයග්‍රහණද ලැබුවාය. ක්‍රීඩාවට තිබූ උනන්දුව නිසාම රැකියාවක් ගැන හිතද්දී ඇයගේ හිත ගියේ පොලිසියටය. මුලදී දෙමාපියන් ඇගේ අදහසට අකැමති වුවත් පසුව කැමැත්ත ලැබිණි. ඒ ඇයගේ උනන්දුව නිසාමය.
පොලිස් පුහුණුවට වඩා විශේෂ කාර්ය බළකා පුහුණුව බැරෑරුම් වුවත් ඒ අභියෝගය ජය ගන්නට ඈ තුළ වූ අධිෂ්ඨානය සියල්ල පරයමින් ඉදිරියට එන්නේ රැකියාවට ඈ තුළ වූ කැමැත්තද මුල් කරගනිමිනි. පුහුණුවීම් කාන්තා පිරිමි භේදයක් නොමැතිව එහිදී ලැබිය යුතු අවස්ථා තිබේ. විශේෂ කාර්ය බළකා පාඨය වන ‘නියතයි ජය’ යන්න හිතට ගනිමින් ඕ සෑමවිටම ඒ පුහුණුවීම්වල නිතර වූවාය.
‘‘ඇත්තටම එම පුහුණවීම් විටෙක අපහසුයි. එහෙත් පුහුණුකරුවන් නිතර අපව දිරිමත් කළා. අර මම මුලින්ම කිව්වා වගේ, ලණුවේ ගිහින් කණුවක් දිගේ බහින කාර්යය පහසුවුණේ ඒ දිරිමත් කිරීම් නිසයි.’’
ක්‍රීඩාවට තිබූ කැමැත්ත නිසාම, ඇයට ටයික්වොන්ඩෝ ක්‍රීඩාවට යොමුවීමටද මේ අතරතුර මංපෙත් විවර වූවාය.
‘‘ටයික්වොන්ඩෝ ක්‍රීඩාවට යොමුවීම මට ජයග්‍රහණ රැසක් ගෙනාවා. 1999 පැවති සාෆ් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගන්නත් මට අවස්ථාව උදාවුණා. ඊට අමතරව ජාතික ජයග්‍රහණ බොහෝමයක් ලබාගන්නත් හැකිවුණා.’’
එපමණක්ද නොව ඇය ටයික්වොන්ඩෝ ජාතික පුහුණුකාරිනියකද වෙයි. ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටුවේ සභාපතිනියද ඇයයි. ක්‍රීඩාවටත් රාජකාරියටත් දක්ෂ ඇය ප්‍රභූ ආරක්ෂක පාඨමාලාව හැදෑරීමටද අවස්ථාව ලබන්නේ සිය රාජකාරි දිවියේ තවත් ඉසව්වක් වෙත ළඟාවෙමිනි.
‘‘එම පුහුණුවීමත් අතිදුෂ්කර පුහුණුවීමක්. නමුත් සාර්ථකව නිම කළාම අපට ලැබෙන දැනුම කියලා නිම කරන්න බැහැ. මම අද වනවිට විදේශීය රාජ්‍ය නායකයින් ලංකාවට පැමිණි විට ඔවුන්ගේ භාර්යාවන්ට ආරක්ෂාව සැලසීමේ කාර්යයේ නිරතව සිටිනවා.’’ ඇය කියන්නීය.
මේ සියලු රාජකාරිවල නිතර වුවත් බිරිඳත් මවත් දියණියක් ලෙස කරන්නට තිබූ යුතුකම් මහහැරුණු අවස්ථාද තිබේ. එවන් අවස්ථාවල සැමියා වන අමල් අමරසිංහ ඇයගේ රාජකාරි දිවියට බාධා නොවන ලෙස එම කාර්යයන් සොයා බැලීම ගැන ඇය කතා කරන්නේ සෙනෙහසිනි.
‘‘අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. පොඩි දුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. ඇත්තටම මට හැම මොහොතකම ශක්තියක් වුණේ මගේ සැමියා. ඔහු නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. දරුවන්ගේ සියලු වගකීම් ඔහු ඉටුකළා. මට අදටත් ලොකු දුව කියනවා අම්මා අපේ ඉස්කෝලේ වැඩකටවත් ආවේ නැහැ කියලා. ඒ කතාව ඇත්ත. අමල් හැමදේම බලාගත්තා. මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහු ඉටු කළා. සමහර අවස්ථාවල මට පවුලේ සමීපතම කෙනෙකුගේ මඟුල්, අවමඟුල් අවස්ථාවන්ට පවා එන්න බැරි වුණා. මගේ රාජකාරිය ස්වභාවය අනුව ඇතැම් දිනවලට මම රාත්‍රියේ ගෙදර ඇවිත් ආයෙමත් පාන්දරම යනවා. පුළුවන් වෙලාවට දරුවෝ එක්ක පවුලේ අය එක්ක කාලය ගත කරන්න කැමතියි. ඒ වගේම මම රාජකාරියට කැපවෙන්නේ සතුටින්. ඒ නිසාම මගේ ජීවිතය බොහොම සතුටින් ගෙවී යනවා. මම අද ඉන්න තැන ගැනත් සතුටුයි. ඇත්තටම විශේෂ කාර්ය බළකායේ හැමදේටම වඩා විනයට මුල්තැන දෙනවා. අපි ඒ විනයට අනුව හැඩගැසුණාම ජීවිතය සාර්ථක කරගැනීම හරිම පහසුයි. අද මම ලබපු සාර්ථකත්වය තුළ මේ සියල්ල තියෙනවා.’’
ඇය තම රාජකාරි දිවිය දෙස ආපසු හැරී බලන්නේ සතුටිනි.
සැබෑවටම කුමන රැකියාවක නියැලුණද ඊට ආදරයක් කැපවීමත් අවශ්‍යය. ඒ වාගේම තම රාජකාරියේ වපසරිය හඳුනා ගනිමින් එම ඉලක්ක ජයගැනීමේ සතුට ගැන ඈ කියාදෙන කතාව එබඳුය.
ශිරෝමි රත්නායක